Tuesday 23 August 2022

උලූරූ මාර්ග චාරිකාව - අටවන දිනය

 අද අප ඇලිස් ස්ප්‍රින්ග්ස් අවට ආකර්ෂණීය ස්ථාන නැරඹීම සදහා යොදා ගෙන තිබුනා. රාත්‍රිය නැවතත් මෙහිම නවාතැන් ගන්නා නිසා දවස මද විවේක කාරී ස්වභාවයක් තිබුනා. 

හෝටලයේ බුෆේ එකෙන් රසවත් උදෑසන ආහාරයක් ලබාගත් අපිට බුෆේ මැනේජර් වශයෙන් රාජකාරී කරන ශ්‍රී ලාන්කිකයකු හමුවී කතා කිරීමට ලැබීම සතුටු කරුණක් උනා.

අප නවාතැන් ගත් හෝටලයේ සිටි මොණරා

ඉන් පිටත් වී බටහිර දෙසින් පිහිටා ඇති මැක්ඩොනෙල් කදු පංතිය දෙසට පැය භාගයක් ගමන් කල අපි සිම්ප්සන්ස් දුර්ගය(Simpsons Gap) කරා පැමිණියා. 


සිම්ප්සන්ස් දුර්ගය කරා

සිනිදු සුදු වැලි තලාවක් කෙළවර ජල තටාකයක්  මත්තෙන් මෙම සුන්දර දුර්ගය පිහිටා ඇත්තේ මැක්ඩොනෙල් කදු පන්තියේ කදු දෙකක් යා කරමින්





එතැනින් පිට වුනු අප තවත් කිලෝමීටර කීපයක් ප්‍රධාන මාර්ගය දෙසට පැමිණ රිය නතර කලේ කැසියා කන්ද මුදුනට වන පාගමන සදහා. එහි මුදුනට පැමිණි කල මැක්ඩොනෙල් කදු පංතිය බොහෝ දුරක් යනකන් දැකිය හැකි උනා. අප කලින් නැරඹූ සිම්ප්සන්ස් දුර්ගයත් මෙතනට හොදින් දර්ශනය උනා.පා ගමන ආරම්භ කරන ස්ථානයේ කුඩා ලී පෙට්ටියක් තුළ මෙම ගමනේදී දැකිය හැකි නොයෙක් පැලෑටි සහ ශාක ගැන විස්තර අඩංගු පත්‍රිකා තබා තිබුනා, එයින් එකක් රැගෙන ගිය නිසා අපිත් මග දිගටම ශාක වර්ග හදුනා ගනිමින් සතුටු උනා. ගමන අවසානයේ එම පත්‍රිකා නැවත පෙට්ටිය තුළට දමා ආවේ එහි තිබූ ඉල්ලීම පරිදි මීළග සන්චාරකයන්ටත් පාවිච්චි කිරීමට හැකි වන පරිදි.


කැසියා කදු මුදුනට පෙනෙන සිම්ප්සන් දුර්ගය

මීළගට අප ඔටු ගොවිපළක් නැරඹූ අතර මගේ කුඩා දියණිය ඔටුවන්ට නම් තබමින් ඔවුන් හා කතා කරමින් සතුටු උනා.


මෙතෙක් වේලාවක් බටහිර මැක්ඩොනෙල් කදු පන්තියේ සුන්දරත්වය විදිමින් සිටි අප ඊළගට සූදානම් උනේ නැගෙනහිර මැක්ඩොනෙල් කදු පන්තියේ පිහිටා ඇති දුර්ග දෙකක් නැරඹීමට යාමටයි. එමිලි ගැප් සහ ජෙසී ගැප් යනුවෙන් හදුන්වන දුර්ග දෙකම ආදිවාසී ඇබොරිජිනල් ජනතාවට සන්ස්කෘතිමය වටිනාකමින් යුතු ස්ථාන. ඒවායේ සුන්දර ආදිවාසී රොක් ආර්ට් දැකිය හැකි නමුත් ඡායාරූපගත කිරීම තහනම් වන්නේ ඇබොරිජිනල් වරුන්ට ඒවයේ ඇති වැදගත් කම නිසා. ඔවුන් විශ්වාස කරනවා සමහර දේවල් ඒවායේ ස්වාභාවික පරිසරයේදී මිස අනිත් අයුරකින් මිනිස් ඇස නොගැටිය යුතුයි කියා.

එමිලි ගැප්

අප නැවත ඇළිස් ස්ප්‍රින්ග්ස් නගරයට පැමිණ හිරු බැස යැම නැරඹීම සදහා ඇන්සැක් හිල් නැමති කුඩා කදු ගැටය මුදුනට ගියා. එහිදී නෙක වර්ණයන්ගෙන් යුතු සැන්දෑ අහසත්, අංශක 360 ක ඇලිස් ස්ප්‍රින්ග් නගරයේ දර්ශනයත් නරඹමින් සිටි අපි හිරු බැස යාමෙන් පසු රාත්‍රී ආහාරය ලබා ගැනීමට පිටත් උනා. 

ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරයේ දසුනක්

ඇන්සැක් කදු මුදුනට දිස්වන ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරයේ දසුනක්

ඇන්සැක් කදු මුදුනට දිස්වන මැක්ඩොනෙල් කදු පන්තිය ඔබ්බෙන් හිරු බැස යාම

එදින උතුරු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිදහස් දිනය වශයෙන් හදුනවන දිනයයි, ඉතින් රාත්‍රී ආහාරයෙන් පසුව ඇලිස් ස්ප්‍රින්ග් නගරයේ නිදහස් දිනය සමරා පැවැත්වෙන සැණකෙළි බිමට ගොස් ගිණි කෙළි සන්දර්ශනය නරඹන්නටත් අපි අමතක කලේ නැහැ.





No comments:

Post a Comment