Saturday 20 August 2022

උලූරූ මාර්ග චාරිකාව - හයවන දිනය

වසර ගනනාවක් පුරා ආසාවෙන් බලා සිටි ඒ දිනය එළඹී තිබුනි. උදේ රැයින් නැගිට ගත් අපි වහා ඇද පැළද ගෙන උලූරූ බලා නික්මුනා.

අයර්ස් රොක් රිසෝර්ට් එකේ සිට පැය භාගයක පමණ ගමනක් ඒ සදහා ගත වෙනවා. උලූරු වෙතට එළබීමට අවසර පත්‍ර මිලදී ගත යුතු අතර අප කල් ඇතුවම ඒවා අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන තිබීම පිවිසුම් ද්වාරය අසලදී පහසුවක් උනා.

හිරු උදාවත් සමගම උලූරූ පර්වතය අලන්කාරව දිස්වෙන විශේෂ ස්තාන කීපයක් ඇති අතර ඒ තැන් වල නැරඹුම් වේදිකා සකසා තිබෙනවා  (Talinguru Nyakunytjaku - Uluru Sunrise Viewing Area). අපත් මේ හිමිදිරි හිරු උදාවට පෙර කඩිනමින් නික්මුනේ ඒ සදහායි. හිරු උදාවට නියමිත වේලාව පසු වන තුරුත් අප සහ තවත් බොහෝ දෙනා එහි රැදී සිටියත් අවාසනාවට එදින වළාකුළු බහුල බැවින් හිරු උදාව අලන්කාරව බලා ගන්නට නොහැකි උනා.

එහෙත් උලුරු පර්වතයෙහි මනස්කාන්ත බව අඩු නොමැතිව විදගන්නට නම් එයින් බාධාවක් උනේ නැහැ.




ඉන්පසු අප එහිදී උදෑසන ආහාර ලබා ගත්තා. 

එයින් අනතුරුව අප උලූරූ වටා පා ගමන ආරම්භ කරා. 

එහිදී මුළු උලූරූ පර්වතය වටාම කිලෝමීටර දහයකට වඩා වැඩි දුරක් පා ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඕස්ට්‍රේලියානු ආදි වාසීන් විසින් සිත්තම් කරන ලද රොක් ආර්ට්ස් වලින් යුතු ගුහා, වතුර පිරි පොකුණු, අතීතයේදී ආදිවාසී ඇබොරිජිනල් ජනතාව වාසය කරන ලද ගල් ගුහා, ඔවුන්ගේ වැඩිහිටියන් විසින් කුඩා දරුවන්ට අවශ්‍ය දැනුම ලබාදුන් ගල් ගුහා සහ දුර්ග මාර්ගයක්  ආදී නොයෙකුත් ස්වාභාවික ආකර්ෂණ මෙම පා ගමන පුරා අත්දකින්නට හැකියි. අප දුටු එක ගල් ගුහාවක් ආහාර සකසා අවශ්‍ය අයට බෙදා දීම සදහා පාවිච්චි කර තිබෙනවා, ඒ අවටම මහළු ආදිවාසීන් ජීවත් වූ ගල් ගුහාවට මෙමගින් ආහාර පාන සපයා තිබෙනවා. 

අප රටේ ආදී වාසීන් මෙන්ම මෙම ඇබොර්ජියන්වරුත් තම මියගිය ඥාතීන්ගේ ආත්මයන් තමන් වටා රැදිමින් සිටිනා බව තරයේ විශ්වාස කරනවා. ඒ හා සබැදුනු බොහෝ විශ්වාසයන් නිසා ඔවුන්ට උලූරූ ශුද්ධ වූ භූමියක්, මෙනිසා 2019 වසරේදී උලූරූ පර්වතය තරණය කිරීම තහනම් කරනු ලැබුවා. ඒ වගේම උලූරු  පර්වතය වටා සමහරක් ස්තාන ඡායා රූපගත කිරීම තහනම් කර තිබෙනවා. ඒවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වනවාදැයි නිරීක්ෂණය කිරීමට කිසිවකු නැතත් හැම දෙනාම ඒ පාරම්පරික උරුමයන්ට ගෞරව කරමින් හැසිරෙනවා. 








උලූරු වටා ගමන් කිරීමට ලැබීම මා ලද වටිනා අවස්ථාවක්, වටයම සම්පූර්ණ කල මොහොතේ මා ඉතා සතුටු උනා. අවසාන භාගය මා ඇවිද්දේ තනිවම බැවින් එතැනින් ගිය වෙනත් සන්චාරකයකු ලවා මගේ ඡායා රූපයක් ලබා ගත්තේ එය විශේෂ මොහොතක් නිසා.   එය මට එම ස්ථානයේදී ලබා ගත් අනෙත් ඡායා රූප සියල්ලට වඩා වටිනවා.



සම්පූර්ණ පා ගමන අවසාන වන විට හවස තුනටත් ආසන්න වී තිබුනා, අපට සන්චාරක තොරතුරු මධ්‍යස්ථානයටද යෑමට  අවශ්‍ය වුනු නිසා දිවා ආහාරය අමතක කොට අප ඒ සදහා නික්මුනා.

එතැනදී උලූරූ වටා බැදුනු ඇබොරිජිනල් පුරාවෘත්ත, ආදිවාසීන්ටම උරුම වූ චිත්‍ර ආදී නොයෙක් තොරතුරු අපට දැන ගත හැකි උනා.

හවස හතරට ඉන් නික්මුනු අප, හිරු බැස යන වේලාවට උලූරූ මනස්කාන්ත ලෙස දර්ශනය වන ස්ථානයක්  කරා රිය පැදවූවා. නැවතත් යුලාරා වෙතට යන තුරුම ආහාර මිලදී ගත හැකි ස්තානයක් මේ අවට පිහිටා තිබුනේ නැහ. ඉතින් ලග තිබූ ජංගම ගෑස්  උදුනක් උපයෝගී කරගෙන මෙහිදී අප ආහාර පිස ගත්තේ උලූරූ පසුබිමට වී අප දෙස බලා සිටියදී. ආහාර ගෙන අස්ස්පස් කල අප ඉදගෙන හිරු බැස යන තුරු බලා සිටියදී හිරු බැස යන මොහොතේදී උලූරුහි චමත්කාරය විදිනු කමැත්තෝ තවත් බොහොමයක් දෙනා ඒ අවට පිරී ගියා.




එම දර්ශනීය දසුනින් පසු මහන්සියෙන් නමුත් සතුට පිරුනු සිතින් යුතුව අප නැවතත් යුලාරා වල අයර්ස් රොක් රිසෝර්ට් කරා වන අඩ හෝරාවක ගමනට නික්මුනා.





No comments:

Post a Comment