Saturday 20 August 2022

උලූරූ මාර්ග චාරිකාව - පස්වන දිනය

 පස්වන දිනයේ උදෑසන අප ගමන පටන් ගත්තේ "නූඩ්ලින්" වලට යෑමෙනි. කාලයක් තිස්සේ කූබර් පෙඩි අවට ඕපල් කැණිම් වලදී ගොඩ ගත් පස් ගොඩවල් නගරයෙන් පිටත් ගොඩ ගසා ඇත. මෙම කැණීම් වලවල් නැවතත්  පුරවා දැමීම නොකරන නිසා මෙම පස් එලෙස කාලයක් තිස්සේ එකතු වෙයි. සන්චාරකයන් අතර ජනප්‍රිය කාර්යයක් වන්නේ, මෙම පස් ගොඩවල් අවුස්සමින් ඕපල් සෙවීමයි.  ඉදහිට සමහරුන්ට මෙහිදී ඕපල් ලැබී තිබෙනවා, ඕපල් සෙවීමටත් වඩා මෙය ඉතා විනෝදකාරී ක්‍රියාවක්.හැබැයි පැයක් පමණ නූඩ්ලින් අවසානයේ අපි හැමෝම වෙට් වයිප් භාවිතා කර දූවිලි පිහගෙන තමා ආයෙත් වාහනයට ගොඩ උනේ.




ඊලගට අපට අවශ්‍ය උනේ කූබර් පෙඩි සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් ඇති බ්‍රේක් අවේ ප්ලේන්ස් නැමති ශේෂ කදු පන්ති බැලීමට යාමටයි. ඊට ස්ටුවර්ට් අධිවේගී මාර්ගය ඔස්සේ ලෙහෙසියෙන්ම ලගා විය හැක.  නමත් අපට අවශ්‍ය වූයේ මූන් ප්ලේන්ස් සහ ඩෝග් ෆෙන්ස් යන ආකර්ෂණත් බලාගෙන බ්‍රේක් අවේ ප්ලේන්ස් වෙතට යාමට නිසා අප මේ සදහා තෝරාගත්තේ වෙනත් ගුරු පාරක්. 


මුලින්ම අප මූන් ප්ලේන්ස් පසු කරා, පෘථිවියේහි කොටසක් කියන්නට නොහැකි තරමට වෙනස්ම ස්වභාවයකින්  යුතු වර්ග කිලෝමීටර 1500ක් පමණ වූ මෙම   ප්‍රදේශය, අනාගතයෙහි දිනක නාසා ආයතනය අගහරු මතට අභ්‍යාවකාශගාමීන් යැවීමක් සිදු වුවහොත් ඔවුන් පුරුදු කිරීම සදහා තෝරා ගන්නට ඉඩ ඇති ප්‍රදේශයකි.




ඉන්පසු  කිලෝමීටර් 5300ක දිග මීටර දෙකක් උස ඩෝග් ෆෙන්ස් එක අපට බලා ගන්න පුලුවන් උනා. මෙය 1880 දී ඉදි කිරීම් පටන් ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන වල් බල්ලන් වන "ඩින්ගෝ" වරුන්ගෙන් බැටළුවන් ඇතුළු ගොවිපොළ සත්වයන් බේරා ගැනීම සදහායි. චීන මහා ප්‍රාකාරය මෙන් තුන් ගුනයක් දිග මෙම වැට ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්සය සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්තවල කොටස් හරහා ඉදි කර තිබෙනවා.



කිලෝමීටර් ගනනාවක් හරහා දිවෙන ගුරු පාර දිගේ අප ගිය ඒ ගමන කිසිවිටෙක අමතක නොවන අපූර්ව අත්දැකීමක්. තවත් වාහන දෙකක් හෝ තුනක් පමණක් අපට මෙම මාර්ගයේදී මුන ගැසුනා, නා නා වර්ණයන්ගෙන් යුතු කදු පසු කරමින් ගිය ගමනේ සුන්දරත්වය මේ සමග ඇති ඡායා රූප බලන ඔබටත් වැටහේවි.










ඉතින් එයින් පසු අප නැවත් ස්ටුවර්ට් අධිවේගී මාර්ගය ඔස්සේ උලූරු දෙසට රිය ධාවනය කරා. 

දිවා ආහාරය මාර්ලා වලදී ලබා ගත් අප හවස් වනවිට උතුරු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු උනා. 


එතැන් සිට පැයට කිලෝමීටර් 130ක වේගයෙන් ගමන් කරමින් ඉර බැස ගෙන යන වේලාව වන විට සුන්දර පැහැයන් තවරා ගෙන අප පිළි ගැනීමට බලා සිටි  සුන්දර හැන්දෑ අහසෙහි හැඩ බලමින් අප යුලාරා වෙතට ලගා උනා.






උලූරූ කන්ද නැරඹීමට පැමිණෙන සැම දෙනා නතර වන්නේ යුලාරා සන්චාරක නිකේතනයේය. එහිදී අති සුඛෝපභෝගී හෝටල වල සිට කෑම්පින් සිදු කල හැකි බිම් කඩ වල් දක්වා  නොයෙක් ආකාරයේ නැවතුම් ලබා ගත හැකියි.




හෙට උදෑසන උලූරූ නැරඹීමට යාම ගැන සිහින මවමින් අපි එදින සතුටු සිතින් නින්දට ගියා.

No comments:

Post a Comment