Thursday 17 October 2019

නවසීලන්ත චාරික සටහන් 7 - ටිඅනාවු සිට ඩනෙඩින් වෙත පැමිණීම සහ ලනාක් මන්දිරය නැරඹීම

මෙදින අප නවසීලන්ත දකුණු දිවයිනේ නිරිතදිග ටිඅනාවු(Te Anau) නගරයේ සිට ගිණිකොණ දිග ඩනෙඩින්(Dunedin) නගරය කරා කිලෝමීටර් 290 ගමන් කිරීමට නියමිත දිනය.
ටිඅනාවු නගරය පසු කර පැය බාගයක් යන විට හිම පතනය වෙනවා දුටු අප සැම අමන්දානන්දයට පත් වුනා. මෙයින් පසු හිම වැටෙන ප්‍රදේශ නැවතත් දකින්නට නොලැබෙන බව දන්නා නිසා හිමෙන් වැසුනු කුඩා කැලෑ රොදක හිම සෙල්ලම් කරන්නට අප අමතක කලේ නැහැ.
ගමනෙන් අඩක් පමණ ගත කර විට හමුවුණු ගෝර්(Gore) නගරය අපගේ ඊලග නැවතුමයි. ට්‍රවුට් මාළුවන් ඇල්ලීමට ප්‍රචලිත මෙම නගරයේ මටවුරා නදිය අසල ඉදිකෙරී තිබෙන අතර නවසීලන්තයේ පැරනි ආණ්ඩුකාරවරයෙක් වෙනුවෙන් නම් කර තිබෙනවා.
හවස 2 පමණ වනවිට ඩනෙඩින් නගරයට පැමිනි අපේ ඉලක්කය වූයේ නවසීලන්තයේ පිහිටි එකම castle එක ලෙස සලකන ලානාක් මන්දිරය නැරඹීමය.
එකල ධන කුවේරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වූ විලියම් ලානාක් සිය පළමු බිරිඳ වෙනුවෙන් ඉදිකරනු ලැබූ මෙම මන්දිරය 1871 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර 1874 වසර වනවිට සම්පුර්ණයෙන් නිමවා අවසන් කර ඇත. ඔටාගෝ අර්ධද්වීපයේ සුන්දර බිම් කඩක පිහිටි මේ වටා බැදුනු නොයෙකුත් රසවත් සිදුවීම එහිදි අසා දැනගන්නට පුලුවන්.
අක්කර 35 වඩා වැඩි බිම් කඩක කාමර 43ක්, විශාල නර්ථන ශාලාවක්, සංගීත කාමරයක් ආදිය ඇතුලත් මෙම සුන්දර මන්දිරය පිහිටි වතුයාය විලියම් සිය දෙටු පුතු හා දඩයම් සවාරියක් යනවිට අහම්බෙන් දැක පැහැදී බ්‍රිතාන්‍ය කිරුළෙන් මිලදි ගෙන ඇත.
කොතරම් මිල මුදල් සැප සම්පත් සමග ජීවත් වූවත් ජීවිතයේ අවසාන කාලය විලියම් ලානාක් ගත කර ඇත්තේ විශාල කරදර ප්‍රමාණයක් සමග.ඔහුට වඩා වසර විස්සකින් පමණ බාල ඔහුගේ තුන්වැනි බිරිඳ සහ පලමු විවාහයේ පුතු අතර අනියම් ඇසුර, දෙවන බිරිඳ මිය යාම සමග ඇතිවූ දේපළ ගැටලු සහ ව්‍යාපාර අලාභ ආදියෙන් කලකිරීමට පත් වූ විලියම් 1898 ඔක්තෝබර් මාසයේ දිනයක නවසීලන්තය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුලදී සිය දිවි හානි කර ගෙන ඇත.
ඔහුගේ මරණයත් සමග දරුවන් අතර දේපළ සදහා බොහෝ වියවුල් හටගෙන තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලෙස ලානාක් මන්දිරය 1906 වසරේදී විකුණා දමා තිබෙනවා. මින් අනතුරුව වසර ගනනාවක් විවිධ හිමිකරුවන් අතින් අතට පත් වූ ලානාක් මන්දිරය ගරා වැටිමින් තිබියදී මිලදි ගත් වත්මන් හිමිකරුවන් විසින් පෙර ගාම්භීර ස්වභාවයටම නඩත්තු කරමින් මහජන ප්‍රදර්ශනය සදහා පවත්වාගෙන යනවා. මන්දිරය වටා පිහිටි උද්‍යානය නවසීලන්තයේ පිහිටි ජාත්‍යන්තර තත්ත්වයේ උද්යාන කිහිපය අතුරින් එකක් ලෙස සැලකෙනවා.
මම නම් සම්පූර්ණ මන්දිරයම දෙසැරයක් ගවේෂණය කලේ මගේ අතීතකාමය නිසා. පැරණි ගෘහ භාණ්ඩ, පියානෝ බදු සංගීත භාණ්ඩ, පිගන් කෝප්ප කට්ටල, කුස්සියේ නොයෙකුත් උපකරණ අදී නොයෙක් භාණ්ඩ පමණක් නොව විලියම්ගේ තුන්වන බිරිද සිය විවාහ උත්සවයට ඇදි ගවුම, මැහුම් ගෙතුම් කට්ටල අදියත් මෙහි ප්‍රදර්ශනය කර තිබෙනවා
මන්දිරයේ මුදුනටම නැගීමට ඇති ඉතා පටු පඩි පේළිය අමාරුවෙන් නැගගත් අප එකල විලියම් සිය නෞකාවන්ට පනිවිඩ දීමට යොදා ගත් කොඩි ගසත් ඉතා සුන්දර මන්දිරය වටා පරිසරයත් දැක බලා ගත්තා.


මග දෙපස සුන්දර දසුන්

ගෝර් නගරය


ලානාක් මන්දිරය




විලියම් සිය තුනවන විවාහයේදී ලද තෑග්ගක්

විලියම් සිය තුනවන විවාහයේදී ලද තෑග්ගක්

එකල වික්ටෝරියා මහ රැජින ප්‍රමුඛ ධනවතුන් අතර බොහෝ ප්‍රසිද්දව තිබූ සැරසිල්ලක්




විලියම්ගේ තුන්වන බිරිද පෞද්ගලිකව පරිහරණය කරන ලද භාන්ඩ

විලියම්ගේ තුන්වන බිරිද සිය විවාහ උත්සවයට ඇදි ගවුම

විලියම්ගේ තුන්වන බිරිද පෞද්ගලිකව පරිහරණය කරන ලද භාන්ඩ

















Tuesday 15 October 2019

නවසීලන්ත චාරික සටහන් -6 Milford Sound

2008 වසරේදී ලොව ජනප්‍රිම සංචාරක ගමනාන්තය ලෙසත් දැනටත් නවසීලන්තයේ ජනප්‍රියම සංචාරක ගමනාන්තය ලෙසත් පිළිගන්නා මන්ස්කාන්ත මිල්ෆර්ඩ් සවුන්ඩ් නැරඹීම අද දවසේ අපගේ සැලසුමයි. නිරිතදිග නවසීලන්තයේ ෆියෝර්ඩ්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානයේ එක කෙලවරක පිහිටි මෙය, සොබාදහමේ අති සුන්දරම දායදයක්. අප නවසීලන්තයට ගොඩ බැසූ දවසේ සිට මේ දක්වාම මිල්ෆර්ඩ් සවුන්ඩ් වෙත යෑමට ඇති මාර්ගය අනතුරුදායක බව නිසා වසා දමා තිබුනා. අප ඊයේ දිනයේත් අදාළ වෙබ් අඩවිය බොහෝ සැරයක් පරීක්ශා කලේ මෙම මාර්ගය අද දිනයේ ගමනාගමනය සදහා සුදුසු ලෙස ප්‍රකාශ කර ඇතිදැයි දැන ගැනීමට. අතිශය හුදෙකලා ප්‍රදේශයක පිහිටි මිල්ෆර්ඩ් සවුන්ඩ් කරා පිවිසීමට ඇත්තේ මෙම එකම එක මාර්ගය පමණකි.දීර්ඝකාලීනව ග්ලැසියර දිය වී ගොස් මුහුදු ජලය එම හිඩැස පිරවීම නිසා මුහුදට සම්බන්ධව නිමැවූ පටු බෑවුම් සහිත භූවිෂමතාවයක්( fiord) මිල්ෆර්ඩ් සවුන්ඩ්හි දැක ගත හැකියි.ස්වභාව ධර්මයේ සුන්දරත්වය පරිපූර්ණ මෙම ස්තානයට පැමින එහි දිය මත කෲස් බෝට්ටු සවාරියක් යෑමට අවශ්‍ය අවසර පත් අප මිලදි ගත්තේ මාස ගණනාවකට ප්‍රථමයෙන්.
ඊයේ රාත්‍රියේ අද දිනය ගැන අවිනිශ්චිත තත්වයෙන් නින්දට පිවිසියත්,උදෑසන පිබිදී නැවතත් මාර්ගයේ තත්ත්වය පරීක්ෂා කල විට අප අමන්දානන්දයට පත් කරමින් දින ගනනාවකට පසුව අද මිල්ෆර්ඩ් සවුන්ඩ් කරා එළබීමට හැකි බව දැන ගන්නට ලැබුනා .
ඉතින් ලහි ලහියේ ලැක ලෑස්ති වූ අප කලින් කලින් සැලසුම් කර තිබූ අයුරින් ටිඅනාවු(Te Anau) නගරයට ආසන්න ස්ථානයකින් රථ දෙකේ රෝද සදහා අවශ්‍ය හිම දම්වැල් ලබා ගෙන ගමනට පිටත් උනා.
ටිඅනාවු නගරයේ සිට මිල්ෆර්ඩ් සවුන්ඩ් කරා කිලෝමීටර් 120 පමණ තිබෙනවා. මාර්ගයේ තත්ත්වය අනුව මෙම දුර යෑමට අපට පැය දෙකක් පමණ ගත වූවා.
මාර්ගය දෙපස සුන්දරත්වය දැක දැකත් අප නොනවත්වාම ඉදිරියට ඇදුනේ බෝට්ටු සවාරිය සදහා නියමිත වේලාව ලගා වීම නිසා.
එනමුත් අප මිල්ෆර්ඩ් සවුන්ඩ් වෙත එලබෙන විට පැය බාගයක් ප්‍රමාද වී තිබුනා. නමුත් කාර්ය මන්ඩලය සුහදව අප ඊලඟ කෲස් බෝට්ටුව වෙත යොමු කලා. අපේ දිවා ආහාරය සදහා ආහාර පැකට් අප වෙත ලබා දුන්නා. මෙම ස්ථානයේ සිට නොයෙක් සංවිධායකයන් කෲස් බෝට්ටු සවාරි ආරම්භ කරනවා. විශාල ශාලාවේ වෙනස් ස්ථානවල ඔවුන්ගේ කාර්යාලයන් පිහිටා තිබුනා. සංචාරකයන් මෙහිදී ආහාර සපයා ගත යුතුයි . මෙහි නගරයක් නොමැති අතර කිසිවක් මිලදී ගැනීමට වෙලද සැල් කිසිවක් නොමැත . ආසන්නම නගරය කිලෝමීටර් 120ක් දුරින් පිහිටි ටිඅනාවු නගරය වේ.
මේ හුදෙකලා ස්වභාවය නිසා මට නම් මිල්ෆර්ඩ් සවුන්ඩ්හි ආකර්ශනය තවත් වැඩි පුර දැනුනා.
බෝට්ටුවට ගොඩ උනු අප වහාම ඉහළ විවෘත තට්ටුව කරා පිවිසියේ සුන්දරත්වය සම්පුර්ණයෙන් විද ගැනීමේ ආශාව නිසා. බැලූ බැලූ සැමතම දැකිය හැකි වූයේ මුහුදු දිය හා එක් වන්නට කෝමල ගමනින් ගලා හැලෙන දිය දහරා. ඉන් සමහරක් පහල ජල තලයට වැටෙන්නට පෙර අහසේදීම දසත ව්සිරයන්නේ මීදුම් වලාවන් මවාලමින්. වටේටම ඇති පටු බෑවුම් නිසා බේසමකට බැස්සූවාක් බදු වූ බෝට්ටුව තද නිල් පැහැ ජලයේ හෙමින් ඉදිරියට ඇදුනේ සමහරක් තැන් වලදී ගලා හැලෙන දිය දහරා වලට ඉතා ආසන්නයටම යමින්. සමහරක් මගීන් වතුර බිදිති වලින් බේරීමට යටතට්ටුවට නික්මුණත් අප නම් එය ඉතා සතුටින් වින්දනය කලා .
මෙලෙස පැයක පමණ ගමනකින් පසු අප පාවෙන කුඩා දිවයිනකට පැමිනුනා. මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද වතුරට යටින් ගොස් ජලජ ජීවීන් නැරඹීමට හැකි underwater Observatory එකක්. අප එතැනින් බැස්සූ බෝට්ටුව කලින් එහි පැමිණී සිටි පිරිසක් ගෙන පිටත් උනා.
මෙහි මතුපිට සිට මීටර් 10ක දුරක්, පඩි 64ක් පහළට බසිමින් අප වතුර යට නිරීක්ෂණාගාරය වෙතට පිවිසුනා. සිලින්ඩරාකාර ගොඩනැගිල්ලේ වටේටම විශාල වීදුරු කවුලු තබා තිබුනේ එලියේ පීනන නොයෙක් මාළු සහ වෙනත් ජලජ ජීවීන් උන්ගේ ස්වාභාවික පරිසරයෙහිදීම නිරීක්ෂණව කිරීමේ අවස්ථාව ලබා දෙමින්.මෙම අපූරු අත්දැකීම ලබමින් සිටින අතර තුර ඊලඟ බෝට්ටුව මෙහි ලගා උන බව එහි සිටි නිරීක්ශනාගාර සහායිකාවට ලැබුනු පණිවිඩය නිසා අප නැවතත් ජලය මතුපිට පැමිණුනා.
එතැනින් නික්මුණු අප මෙවර බෝට්ටුව ඇතුලේ අසුන් ගෙන කලින් ලබා දී තිබුණු අහාර පැකට් දිග ඇරගත්තේ දිවා ආහාර වේලාව පැමිණ තිබූ නිසා. කවුලු තුලින් පෙනෙන සුන්දර දිය ඇලි නරඹමින් අප දිවා ආහාරය ගන්නා අතර බෝට්ටුව නැවතත් ගමන ආරම්භය කරා කෙමින් ඇදුණා.
එහි පැමිණි අප ඉන්පසු ටිඅනාවු නගරය කරා ගමනේදී නැරඹිය යුතු සුන්දර ස්තාන ගැන සිතමින් පසු ගමන් ඇරඹූවා.
මග දෙපස සුන්දර දිය දහරා, දිය ඇලි නරඹමින් සහ වනෝද්යානය ඇතුලට යෙදුනු කෙටි පාගමනක් ආදිය අතර තුර එම ප්‍රදේශයට ආවේණික "කී" (Kea) කුරුල්ලන් දැක ගැනීමේ අවස්ථාවත් උදා උනා.
තවත් දිය පහරක් ලග නැවතී අහසින් ඇද හැලුනු සිහින් අයිස් වැස්සත් නොතකා සිසිල් පිරිසිදු දිය පොදක රස බලමින් සිටි අප දුටු එම ප්‍රදේශයේ මාර්ග ආරක්ෂාව පිළිබඳව වගකියන නිලධාරියෙක් සිය වාහනය නවතා හවස 5ට මාර්ගය නැවතත් වසා දමනා බව දැනුම් දුන්නා. ඉතින් සුන්දර මිල්ෆර්ඩ් සවුන්ඩ් සහ ෆියෝර්ඩ්ලෑන්ඩ් වනෝද්යානය වෙතට සමු දුන් අප ටිඅනාවු වෙත නොනැවතී යාමේ අරමුණින් ගමන ආරම්භ කලා.

ටිඅනාවු සිට මිල්ෆර්ඩ් සවුන්ඩ් වෙත මාර්ගය

ටිඅනාවු සිට මිල්ෆර්ඩ් සවුන්ඩ් වෙත මාර්ගය

මිල්ෆර්ඩ් සවුන්ඩ්

මිල්ෆර්ඩ් සවුන්ඩ්

මිල්ෆර්ඩ් සවුන්ඩ්

මිල්ෆර්ඩ් සවුන්ඩ්

මිල්ෆර්ඩ් සවුන්ඩ්

මිල්ෆර්ඩ් සවුන්ඩ්

දිය ඇල්ලක් අසලටම ලන්වූ අපට පෙර කෲස් බෝට්ටුව

Underwater Observatory

Underwater Observatory

මිල්ෆර්ඩ් සවුන්ඩ් සිට ටිඅනාවු වෙත


කී කුරුල්ලෙක්



උමන් පිවිසුම අසල වාහන දෙස බලා සිටිනා කී කුරුල්ලෙක්

මාර්ගයේ අනතුරුදායී ස්ථානයක්


Falls Creek, මා දුටු සුන්දරම දිය ඇල්ලක්

අප දිය පානය කලේ මෙම දොළ පාරින්

අප දිය පානය කලේ මෙම දොළ පාරින්

Thursday 10 October 2019

නවසීලන්ත චාරික සටහන් -5 Queenstown

උදාසන නවාතැන් පොළෙන් නික්මුණු අපේ පලමු නැවතුම Queenstown නගරය මැද පිහිටි හිම මත සෙල්ලම් කිරීමට අවශ්‍ය දිය කාන්දු නොවන ඇදුම්, අත් වැසුම් සහ toboggan වෙළද සැලක.
අවශ්‍ය දෑ රැගත් අපි එතැනින් නික්මුණේ නගරයේ සිට කිලෝමීටර් 16 දුරින් පිහිටා ඇති Coronet Peak Ski Area කරා යාමටයි. හිම මත ලිස්සා යාමට අමතරව tobogganing සදහාම වෙන් කල ප්‍රදේශයක් පැවති නිසා කුඩා දරුවන් සමග නිදහසේ සෙල්ලම් කිරීමට අපට අවස්ථාව උදා වූවා. දරුවන් මෙන්ම වැඩිහිටි අපත් එකම ආකාරයෙන් මෙහිදී විනෝද වූවා.
දහවල නැවතත් Queenstown නගරය වෙත පැමිනුනු අප නගරයේ සිරි බලන්නට මද වේලාවක් ගත කරන්නට අමතක කලේ නැහැ.
දිවා ආහාරයෙන් පසු Queenstown ආසන්නයේ පිහිටි Bob’s Peak කදු මුදුන වෙත මීටර් 450ක් දුරක් skyline gondolaවක නැගී ගමන් කෙරුවා. Queenstown නගරය වගේම අප උදෑසන හිම සෙල්ලම් කිරීමට ගිය Coronet Peak ආදී කදු මුදුන්, නගරය ලගින්ම පිහිටි Wakatipu විල ආදී මනරම් සුවිශේෂී බිම් සලකුණු සියල්ල මෙම කදු මුදුනට හොදින් දර්ශනය උනා.
මෙතැන සිට අවශ්‍ය අයට තවත් ටිකට් පතක් ලබාගෙන Luge Ride යෑමේ හැකියාව තිබෙනවා.මේ සදහා Bob’s Peak සිට නැවතත් නිරාවරන ගොන්ඩෝලාවක නැගී තවත් කදු මුදුනකට යා යුතුයි. පළමු ගොන්ඩෝලාව මෙන් නොව මෙහි ගමන් කිරීම ත්‍රාසජනකයි.
ඉන්පසු එම කදු මුදුනේ සිට මීටර 800ක දුරක් කන්ද බෑවුමේ විශේෂයෙන් සකන් කල ධාවන පථ ඔස්සේ luge රථ පදවාගෙන ඒමට අවස්තාව තිබෙනවා. පලමු වන වතාවේ සෑම දෙනෙක්ටම කුඩා පුහුණුවක් ලබා දෙන අතර දරුවන්ගේ උස අනුව ඔවුන්ට යාමට අවසර ලැබෙන්න තෝරාගත් ධාවන පථ වල පමණයි.
වට කීපයක් luge රථ පැදවීමෙන් පසු මීලග නවාතැන වෙත යාමට පැය දෙකක පමන කාලයක් අවශ්‍ය නිසා අප නැවතත් ගොන්ඩෝලාවක නැගී කදු පාමුල කරා පිටත් උනා.


Toboganning

හිම මත ලිස්සා යන ක්‍රීඩකයෝ

හිම මත ලිස්සා යන ක්‍රීඩකයෝ


Queenstown 

ගොන්ඩෝලාවේ උඩට යද්දී පෙනුනු ක්වීන්ස්ටවුන් නගරය

ගොන්ඩෝලාවේ උඩට යද්දී පෙනුනු ක්වීන්ස්ටවුන් නගරය

කඹය දිගේ උඩට පහළට ඇදෙන ගොන්ඩෝලා

Bob's Peak මතට පෙනෙන මනරම් දර්ශන

Bob's Peak මතට පෙනෙන මනරම් දර්ශන

Luge Ride සදහා කදු මුදුනට රැගෙන යෑම

Luge Ride සදහා කදු මුදුනට රැගෙන යෑම

Luge Ride සදහා කදු මුදුනට රැගෙන යෑම

කන්ද පහළට පැද යන Luge

කන්ද පහළට පැද යන Luge