Thursday 15 September 2022

උලූරූ මාර්ග චාරිකාව - දසවන දිනය

උලූරූ මාර්ග චාරිකාවේ දසවන දිනය අදයි. අද අපගේ සැලසුම ටෙනන්ට් ක්‍රීක් නගරයේ සිට ක්ලොන්කරි නගරයට ගමන් කරන්නටයි. ටෙනන්ට් ක්‍රීක් නගරයේදී උදෑසන ආහාරය ලබා ගෙන පිටත් උන අප කිලෝමීටර් හයකට වඩා මදක් දුරින් තිබූ මේරි ඈන් විල අසල පළමුවෙන් නතර කලා, නිල් දිය කදේ සුන්දරත්වයත් ඒ අසල ගැවසුන මින් පෙර දැක නොතිබූ කුරුළු රන්චුවේ ආඩම්බර ලස්සනත් විද ගත් අප එහි වැඩි වේලාවක් නොසිට නැවතත් ගමනට පිටත් උනා. 




අද දිනයේ කිලෝමීටර් 800කට ආසන්න දුරක් යන්නට තිබීමත් අපට බලන්නට අවශ්‍යම යුරේනියම් නිධිය තිබුනේ ගමනාන්තයට බොහෝ ආසන්නයේ නිසාත් කලුවර වැටෙන්නට පෙර මෙම දුර යා යුතු උනා.එනිසා අතරමැද වැඩිපුර නතර කරමින් යන්නට අද අවසරයක් නැහැ.

අප දින කීපයක්ම ගමන් කල ස්ටුවර්ට් අධිවේගී මාර්ගයට සමුදුන්නේ ත්‍රීවේස් තුන්මන් හන්දියේදී. එතෙක් ඕස්ට්‍රේලියාවේ උතුරු දිශාවට ගමන් කළ අප එතැන් සිට ගිණිකොණ දෙස බලා ගමන් කලයුතු උනා. ත්‍රීවේස් සිට කෙළින්ම ස්ටුවර්ට් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කලහොත් උතුරු ප්‍රාන්තයේ අග නුවර වෙන ඩාර්වින් වෙතට යා හැකියි.






ත්‍රීවේස් මංසන්ධියේ සිට බාර්කි අධිවේගී මාර්ගය ඔස්සේ ක්ලොන්කරි  වෙත රිය පදවන විට  කිලෝමීටර් සිය ගනනක් පුරා මිනිස් ජනාවාස දැකිය නොහැකි මුත්  පාර දෙපස දිගින් දිගටම දැකිය හැක්කේ දහස් ගනනින් වූ  හුඹස්. ඒවායෙන් සමහරක් නොයෙක් ආකාර ඇදුම් අන්දා සරසා තිබෙනු දැකීම සිනහා යන සුළු කරුණක් උනා. 








දහවල් දෙක පසු වී මද වේලාවකින් අප කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ සීමාව පැන නැවතත් කුවීන්ස්ලන්තයට ඇතුළත් උනේ දින ගනනාවකට පසු. අප ජීවත් වන ප්‍රාන්තයට ඇතුළත් වීමට ලැබුන විට ගමනේ වැඩි හරිය අවසන් බව ඒත්තු ගැන්වී දුකකුත් සතුටකුත් ඇති උනා.



Mount Isa






අපි සැලසුම් කරගෙන තිබූ අයුරින්ම සවස 5 පමණ වන විට මේරි කැතලින් යුරේනියම් නිධිය කරා ලගා වෙන්නට හැකි උනත් තවත් ටිකක් කලින් එන්නට තිබුනා නම් හොදයැයි සිතුනේ අදුර වැටී ගෙන එන සලකුණු දකිද්දී. 






1954 වසරේදී, මෙම ස්ථානයේ සැලකිය යුතු යුරේනියම් නිධියක් සොයා ගෙන ඇත. පතල් කැණීම 1956 අවසානයේ ආරම්භ වූ අතර  විවෘත කැපුම් ක්‍රමයට කැණීම් කර එතනදීම යුරේනියම් නිස්සාරණය සිදු කොට ඇත. 1963 වන විට ප්‍රධාන සැපයුම් කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර තෘප්තිමත් වූ නිසා පතල වසා දමා ඇත. දෙවන වරට පතල 1972 සිට 1982 දක්වා ක්‍රියාත්මක වී ඇති අතර එවර පතල වසා දමා ඇත්තේ යුරේනියම් අවසන් වූ නිසායි. වසර මිලියන ගනනක් තිස්සේ සොභාදහම නිමැවූ වටිනා මූලද්‍රව්‍යයක්   මිනිසා විසින් කෙටි කලකින් ඉවර කර දමා ඇති අයුරු අසන විට මිනිස් සංහතිය ගැන පුදුම හිතුනි. මෙම පැරණි නිධිය පාමුල කුඩා විලක් බදුව නිල් පැහැ ජලය එකතුවී තිබෙන අයුරු ඉතාම ලස්සනයි. නමුත් විකිරණශීලීතාවය නිසා එම වතුර ඇල්ලීමවත් නොකල යුතුයි.  විකිරණශීලී අපද්‍රව්‍ය  ප්‍රාදේශීය ජලාපවහන පද්ධතිවලට කාන්දු වී ඇති අතර එමඟින් දේශීය වෘක්ෂලතාදියටද පුලුල්ව පැතිරී ඇති නමුත් ඒ සදහා අදටත් පිළිගත හැකි විසදුමක් නම් ක්‍රියාත්මක වී නැහැ.

මෙම නිධියෙහි සේවයට පැමිණියවුන් සදහා මේරි කැතලින් නගරය ගොඩ නැංවී තිබී ඇත. පතලේ සිට කිලෝමීටර 6 ක් දුරින් පිහිටි නගරය, තැපැල් කාර්යාලයක්, සිනමා ශාලාවක්, ක්‍රීඩා පිටියක්, පාසලක්, පුස්ථකාලයක්, බැංකු සහ ප්‍රජා ගබඩාවක් සහිත වූ සම්පූර්ණ නගරයක්ව තිබී ඇති අතර එක් කලෙක එහි ජනගහනය 1200 පමණ වී තිබුනු බව වාර්තාවී තිබෙනවා. එමෙන්ම  ඔලිම්පික් තත්වයේ විශාල පිහිනුම් තටාකය, ටෙනිස් ක්‍රීඩා පිටි ආදී නොයෙක් අංග වලින් යුතුව මෙම නගරය මේ අයුරින් අංග සම්පූර්ණව ගොඩ නංවන්නට යුරේනියම් තුළින් ලැබුනු විශාල ආදායම හේතු වන්නට ඇති.




කෙසේ නමුත් 1982දී පතල් කැණීම් නතර වුන පසු මෙම නගර වැසියෝ වෙනත් ජීවනෝපායන් සොයා පිටත්වීම හේතුවෙන් ඉතා ඉක්මනින්ම නගරය පාළුවට ගොස් ඇති අතර අද වනවිට එහි පෙර තිබූ විභූතිය කිසිසේත්ම දැකීමට නෑ. ඒ වෙනුවට ගොඩනැගිලි තිබූ ස්ථාන වල පාදම පමණක් ඉතිරිවී තිබෙන අයුරුත් පිහිනුම් තටාකය සම්පූර්ණයෙන්ම ගොඩ වී ඇති අයුරුත් පේන්නට තිබෙනවා. අදටත් එම පාදම්වල උඩ කූඩාරම් බැද ගත්  සංචාරකයන් අතහැර දැමූ නගරයේ රාත්‍රිය ගත කරනවා.

මේ සියල්ල බලා ගත් අපි තවත් කිලෝමීටර 70ක් ඈතින් පිහිටි  ක්ලොන්කරි නගරය කරා පිටත් උනේ රාත්‍රී නවාතැන් පොළ සොයාගෙනයි.




Sunday 4 September 2022

උලූරූ මාර්ග චාරිකාව - නවවන දිනය

දින දොළහක  දිගු චාරිකාවේ අද අප ගත කරන්නේ නවවන දිනයයි. 

ඇලිස් ස්ප්‍රින්ග්ස් සිට ටෙනන්ට් ක්‍රීක් නගරය දක්වා වන කිලෝමීටර් 500කට මදක් වැඩි දුර ගෙවා යන ගමනේ ආකර්ෂණීය ස්ථාන කීපයක්ම නැරඹීමට සැලසුම් කරගෙන අප ඇලිස් ස්ප්‍රින්ග්ස් නවාතැනට සමුදුන්නා,

දවසේ පළමු නැවතුම ස්ටුවර්ට් අධිවේගී මාර්ගය දිගේ ඇලිස් ස්ප්‍රින්ග්ස් සිට කිලෝමීටර 129 ක් උතුරින් පිහිටා ඇති ඓතිහාසික වටිනා කමින් යුතු රයන් ළිඳයි. 1889 දී යන්ත්‍ර භාවිතයෙන් තොරව මිනිසුන් විසින් මෙම ළිඳහාරා ඇත්තේ ඕවර්ලන්ඩ් ටෙලිග්‍රාෆ් මධ්‍යස්ථාන යා කරමින් ඇති මාර්ගය ඔස්සේ ඇවිද ගිය සංචාරකයින්ට සහ ගවයන් ඇතුළු ගොවිපල සතුන් ප්‍රවාහනය් කල එඩේරුන් සඳහා ජලය සැපයීම සඳහායි.



ළිං ඉදි කිරීම පිළිබඳ ප්‍රවීණයෙකු වූ නෙඩ් රයන් නම් ගල් වඩුවා මෙය නිර්මාණය කර ඇති අතර ළිඳ ඔහු නමින් නම් කර ඇත. ඒ සදහාම පුරුදු කරන ලද අශ්වයෙකු හෝ ඔටුවෙකු යොදාගෙන ලීටර 70ක වතුර ප්‍රමාණයක් එක වරකට ළිදෙන් ඇදගෙන ඒ අසලම පිහිටා තිබූ ටැංකියකට පිරෙන අයුරින් මෙය නිර්මාණය කර තිබී ඇත. එලෙසම අවශ්‍ය නම් තනි වතුර බාල්දියක්  ඇද ගැනීමටද හැකියාව තිබී ඇත. ඒ අතරම සංචාරකයන් සදහා  මුදලක් අය කරමින් වතුර ඇද දීමේ සේවා සපයන්නකුද මෙහි සේවය කර ඇත.


රයන් ළිඳ ලගින් නික්මුණු අප තවත් කිලෝමීටර් දහයක ගමනකින් පසු නැවතුනේ ඒලරෝන් නම් කුඩා නගරයේයි. මෙහි ඇති  විශේෂත්වයනම් මීටර් 17ක් උසින් යුතු කදු මුදුනක ඉදි කර ඇති "බිග් මෑන්" නමින් හදින්වනු ලබන හෙල්ලය අතින් ගත් ආදි වාසී දඩයක්කරුගේ ප්‍රතිමාවයි, කදු මුදුනේ සිටින බිග් මෑන් දෙස බලා සිටිනා අයුරින් ඉදි කරන ලද ආදිවාසී ස්ත්‍රිය සහ ගැහැනු දරුවා කදු පාමුල ඉදි කර ඇත. මෙම බිග් වුමන් තලගොයෙක් බදු සත්වයෙක් දඩයම් කරමින් ඉන්නා අයුරු මෙහි දැක්වේ. පුරාණ කාලයේ ඇබොරිජිනල් පිරිමින් කැලෑවට ගොස් විශාල දඩයම් සිදු කරගෙන එන තුරු ස්ත්‍රීන් සහ දරුවන්, තම වාසස්ථාන අසල,  කුඩා සතුන් දඩයමත්, ආහාරයට ගත හැකි මල්, පළතුරු සහ අල වර්ග සොයාගැනීමත් සිදු කිරීම කර ඇති අතර එය මෙම මූර්තීන් ගෙන් පෙන්නුම් කෙරේ.




තවත් කිලෝමීටර් 150ක දුරක් පැමිණි කල අපගේ ඊලඟ නැවතුම හමුවිය. 1872 වසරේදී ඉදි කරන ලද ඕවර්ලන්ඩ් ටෙලිග්‍රාෆ් ලයින් එක සදහා වූ බැරෝ ක්‍රීක් ටෙලිග්‍රාෆ් ස්ටේෂන් එකෙහි ඇති විශේෂත්වයනම් එය එවන් මධ්‍යස්ථාන 15ක් අතුරින් දැනට ඉතිරිව ඇති එවන් ස්ථාන හතරෙන් එකක් වීමයි. එහි බිත්ති ආදිය මුලින් ඉදි කරන ලද ඒවාම වන අතර වහලය නම් 1941 වසරේදී අලුත්වැඩියා කරන ලද්ද්දකි. කම්මලක්, කුඩා දේවස්ථානයක් සහ අශ්වයන් සදහා වූ ස්ථාලයක් සහ කරත්ත මඩුවක් ආදී ගොඩනැගිලි කීපයම මේ අවට තවමත් දකිය හැකි.




1872 වසරේදී ඕස්ට්‍රේලියාවේ දකුණෙන් පෝර්ට් ඔගස්ටා සිට ඊසාන දිගින් පෝර්ට් ඩග්ලස් දක්වා වූ කිලෝමීටර් 3000ක ගොඩබිම් විදුලි පණිවුඩ මාර්ගය සම්පූර්ණ කල පසු මෝස් සංකේත යොදා ගනිමින් ඉතා ඉක්මනින් පණිවිඩ සංසරණය සිදු කල හැකිව තිබෙන අතර ඊට කලින් එන්ගලන්තයේ සිට සති ගනනාවක් පරණ වී ඕස්ට්‍රේලියාවට පැමිණි පුවත් දැන් ඉතා ඉක්මනින් ලබා ගත හැකි විය. තාක්ෂණය ඉතා දියුණු අද දවසේ හිතුනු වේලාවක ලෝකයේ ඕනෑම ස්තානයකට දුරකථන පනිවිඩයක් ලබාදීම අපට නම් දෙවරක් සිතිය යුත්තක් නොවේ. නමුත් මින් වසර 150කට පෙර මෙම ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු වාසීන් කී දෙකෙක්ට  කොයි තරම් සුභවාදී වෙනසක් සිදු කරන්නට ඇත්ද? 

ඇලිස් ස්ප්‍රින්ග්ස් සිට කිලෝමීටර් 380 ක් උතුරින් පිහිටි වයික්ලිෆ් වෙල් නොහොත් ඕස්ට්‍රේලියාවේ හදුනා නොගත් පියාඹන වස්තූන් පිළිඹද නිල නොවන කේන්ද්‍රස්ථානයේදී(ඕස්ට්රේලියාවේ UFO අගනුවර) රිය නතර කරන විට වඩාත්ම සතුටු උනේ කුඩා දියණියයි.  "UFO දර්ශන කොතරම් සුලභද යත්, ඔබ මුළු රාත්‍රිය පුරාම අවදියෙන් සිටියේ නම්, අරුම පුදුම යමක් දැකීමට ලැබුනාට වඩා කිසිවක් දැකීමට නොලැබුනා නම් පුදුම සහගතයැයි සලකනු ලැබේ". UFO දර්ශන දෙවන ලෝක සංග්‍රාම කාලයේ සිට වයික්ලිෆ් වෙල්හි ජනප්‍රවාදවල කොටසක් වී ඇත. මහ දවාලේ වයික්ලිෆ් වෙල් ගිය අපට නම් අවාසනාවට කුරුමිට්ටන් මුණ නොගැසුනු නමුත් මද විවේකයකින් පසු කුරුමිට්ටෝ සින්දුව මහ හඩින් ගයමින් අප ඉන් නික්ම ආවා.





අප මීලගට ඩෙවිල්ස් මාබල්ස් නොහොත් කාර්ලු කාර්ලු  වෙත පැමිණියා.ටෙනන්ට් ක්‍රීක් සිට කිලෝමීටර 105 ක් දකුණින් පිහිටා ඇති මෙහි යෝධ වටකුරු  ග්‍රැනයිට් ගල් බොහෝ ප්‍රමාණයක් විසිර තියෙනවා. ඕස්ට්‍රේලියාවේ අවුට්බෑක් ප්‍රදේශයේ ජාත්‍යන්තරව පිළිගත් සංකේතයක් බවට පත්ව ඇති ඩෙවිල්ස් මාර්බල්ස් උදේ සහ සවස හිරු එළිය වැටී තද රතු පැහැය ඉස්මතු වන විට ඉතා දර්ශනීයව දිස් වෙනවා. 


ඩෙවිල්ස් මාබල්ස් නොහොත් කාර්ලු කාර්ලු

ඩෙවිල්ස් මාබල්ස් නොහොත් කාර්ලු කාර්ලු

ඩෙවිල්ස් මාබල්ස් නොහොත් කාර්ලු කාර්ලු

ඩෙවිල්ස් මාබල්ස් නොහොත් කාර්ලු කාර්ලු වල දුටු වන මලක්





කාර්ලු කාර්ලු යන ඇබොරිජිනල් වචනයේ තේරුම 'වටකුරු පාෂාණ' යන්නයි. මෙම ස්ථානය දේශීය ආදිවාසීන්ට  සංස්කෘතික හා අධ්‍යාත්මික වශයෙන් වැදගත් වේ. කාර්ලු කාර්ලු නිර්මාණය වූ ආකාරය සම්බන්ධ ජනප්‍රවාදයට අනුව අසළ කන්දකින් පැමිණ එම ප්‍රදේශය හරහා ගමන් කළ යක්ෂ මිනිසා ඇවිදින අතරතුර පිරිමින් පමණක් පැළඳ සිටින සම්ප්‍රදායික සැරසිලි වර්ගයක් වන හිසකෙස් නූල් පටියක් සකස් කළේය. ඔහු නූල් සෑදීමට කොණ්ඩය කරකවමින් සිටියදී, ඔහුගේ කෙස් පොකුරු බිම වැටුනු අතර එම පොකුරු කාර්ලු කාර්ලු හි විශාල රතු ගල් බවට පත්ව ඇත. ආපසු කඳුකරයට යන අතරමගදී ඔහු බිමට කෙළ ගැසුවේය. ඔහුගේ කෙල රක්ෂිතයේ මැද කොටසේ කළුගල් බවට පත් විය. 

මෙය ඇබොරිජිනල් වරුන්ගේ පූජනීය ස්ථානයක් බැවින් එම ගල් මතට නැගිමට අවසර නැති අතරම ඡායාරූප ගත කිරීමට අවසර ඇත්තේ සමහරක් ස්ථාන පමණයි,

හිරු බැසයන හැන්දෑ හෝරාවේ අප ටෙනන්ට් ක්‍රීක් නගරයට පැමිණියා,කදු මුදුනක පිහිටි බිල් ඇලන් ලුක් අවුට් හිදී හිරු බැස යන චමත්කාරය විදගත් අප ඉන් අනතුරුව රාත්‍රී නවාතැන වෙත ගියා,

ටෙනන්ට් ක්‍රීක් වෙත ලගා වෙමින්


බිල් ඇලන් ලුක් අවුට්






Tuesday 23 August 2022

උලූරූ මාර්ග චාරිකාව - අටවන දිනය

 අද අප ඇලිස් ස්ප්‍රින්ග්ස් අවට ආකර්ෂණීය ස්ථාන නැරඹීම සදහා යොදා ගෙන තිබුනා. රාත්‍රිය නැවතත් මෙහිම නවාතැන් ගන්නා නිසා දවස මද විවේක කාරී ස්වභාවයක් තිබුනා. 

හෝටලයේ බුෆේ එකෙන් රසවත් උදෑසන ආහාරයක් ලබාගත් අපිට බුෆේ මැනේජර් වශයෙන් රාජකාරී කරන ශ්‍රී ලාන්කිකයකු හමුවී කතා කිරීමට ලැබීම සතුටු කරුණක් උනා.

අප නවාතැන් ගත් හෝටලයේ සිටි මොණරා

ඉන් පිටත් වී බටහිර දෙසින් පිහිටා ඇති මැක්ඩොනෙල් කදු පංතිය දෙසට පැය භාගයක් ගමන් කල අපි සිම්ප්සන්ස් දුර්ගය(Simpsons Gap) කරා පැමිණියා. 


සිම්ප්සන්ස් දුර්ගය කරා

සිනිදු සුදු වැලි තලාවක් කෙළවර ජල තටාකයක්  මත්තෙන් මෙම සුන්දර දුර්ගය පිහිටා ඇත්තේ මැක්ඩොනෙල් කදු පන්තියේ කදු දෙකක් යා කරමින්





එතැනින් පිට වුනු අප තවත් කිලෝමීටර කීපයක් ප්‍රධාන මාර්ගය දෙසට පැමිණ රිය නතර කලේ කැසියා කන්ද මුදුනට වන පාගමන සදහා. එහි මුදුනට පැමිණි කල මැක්ඩොනෙල් කදු පංතිය බොහෝ දුරක් යනකන් දැකිය හැකි උනා. අප කලින් නැරඹූ සිම්ප්සන්ස් දුර්ගයත් මෙතනට හොදින් දර්ශනය උනා.පා ගමන ආරම්භ කරන ස්ථානයේ කුඩා ලී පෙට්ටියක් තුළ මෙම ගමනේදී දැකිය හැකි නොයෙක් පැලෑටි සහ ශාක ගැන විස්තර අඩංගු පත්‍රිකා තබා තිබුනා, එයින් එකක් රැගෙන ගිය නිසා අපිත් මග දිගටම ශාක වර්ග හදුනා ගනිමින් සතුටු උනා. ගමන අවසානයේ එම පත්‍රිකා නැවත පෙට්ටිය තුළට දමා ආවේ එහි තිබූ ඉල්ලීම පරිදි මීළග සන්චාරකයන්ටත් පාවිච්චි කිරීමට හැකි වන පරිදි.


කැසියා කදු මුදුනට පෙනෙන සිම්ප්සන් දුර්ගය

මීළගට අප ඔටු ගොවිපළක් නැරඹූ අතර මගේ කුඩා දියණිය ඔටුවන්ට නම් තබමින් ඔවුන් හා කතා කරමින් සතුටු උනා.


මෙතෙක් වේලාවක් බටහිර මැක්ඩොනෙල් කදු පන්තියේ සුන්දරත්වය විදිමින් සිටි අප ඊළගට සූදානම් උනේ නැගෙනහිර මැක්ඩොනෙල් කදු පන්තියේ පිහිටා ඇති දුර්ග දෙකක් නැරඹීමට යාමටයි. එමිලි ගැප් සහ ජෙසී ගැප් යනුවෙන් හදුන්වන දුර්ග දෙකම ආදිවාසී ඇබොරිජිනල් ජනතාවට සන්ස්කෘතිමය වටිනාකමින් යුතු ස්ථාන. ඒවායේ සුන්දර ආදිවාසී රොක් ආර්ට් දැකිය හැකි නමුත් ඡායාරූපගත කිරීම තහනම් වන්නේ ඇබොරිජිනල් වරුන්ට ඒවයේ ඇති වැදගත් කම නිසා. ඔවුන් විශ්වාස කරනවා සමහර දේවල් ඒවායේ ස්වාභාවික පරිසරයේදී මිස අනිත් අයුරකින් මිනිස් ඇස නොගැටිය යුතුයි කියා.

එමිලි ගැප්

අප නැවත ඇළිස් ස්ප්‍රින්ග්ස් නගරයට පැමිණ හිරු බැස යැම නැරඹීම සදහා ඇන්සැක් හිල් නැමති කුඩා කදු ගැටය මුදුනට ගියා. එහිදී නෙක වර්ණයන්ගෙන් යුතු සැන්දෑ අහසත්, අංශක 360 ක ඇලිස් ස්ප්‍රින්ග් නගරයේ දර්ශනයත් නරඹමින් සිටි අපි හිරු බැස යාමෙන් පසු රාත්‍රී ආහාරය ලබා ගැනීමට පිටත් උනා. 

ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරයේ දසුනක්

ඇන්සැක් කදු මුදුනට දිස්වන ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරයේ දසුනක්

ඇන්සැක් කදු මුදුනට දිස්වන මැක්ඩොනෙල් කදු පන්තිය ඔබ්බෙන් හිරු බැස යාම

එදින උතුරු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිදහස් දිනය වශයෙන් හදුනවන දිනයයි, ඉතින් රාත්‍රී ආහාරයෙන් පසුව ඇලිස් ස්ප්‍රින්ග් නගරයේ නිදහස් දිනය සමරා පැවැත්වෙන සැණකෙළි බිමට ගොස් ගිණි කෙළි සන්දර්ශනය නරඹන්නටත් අපි අමතක කලේ නැහැ.