Tuesday 3 December 2019

නවසීලන්ත චාරික සටහන් 8 - ටයරි ගෝර්ජ් දුම්රිය චාරිකාව ( The Taieri Gorge Railway) සහ නැවතත් ක්‍රයිස්ට්චර්ච් නුවර කරා පැමිණීම.

ඩනෙඩින් නගරයේ සිට පුකෙරින් කරා උදාසන 9.30ට පිටත්වන සංචාරක දුම්රියේ ගමන් කිරීම අද අපගේ සැලසුමයි. මෙහි ගමන් කිරීමට අවශ්‍ය ආසන කල් වේලා ඇතුව වෙන්කරගත යුතුයි.
ඩනෙඩින් සිට පුකෙරින් වෙත ගොස් නැවතත් ඩනෙඩින් කරා පැමිණෙනන පැය 5කට ආසන්න මෙම දුම්රිය ගමන අතර තුර මිනිස් වාසයක් නොමැති පාළු කදුකර පෙදෙස් පසු කරමින් කහ මල් යායවල් මැදින් උමං 10ක් හරහා යමින් ඔබට නවසීලන්තයේ පිටිසරබද අසිරිය විදගත හැකියි.
රේල්පාරට සමාන්තරව ගලාබසිනා ටයරි ගංගාවද ගමනේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.
මනස්කාන්ත ස්ථාන පසු කරන විට දුම්රිය මදකට නතර කරන්නේ සංචාරකයන්ට වඩාත් හොදින් ඒවා නැරඹීමට සහ ඡායාරූප ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින්. පසු කරමින් යන ස්ථාන පිළිබඳව සජීවී විස්තර විචාරකයක් දුම්රියේ මහජන ඇමතුම් පද්ධතිය ඔස්සේ අසන්නට අවස්ථාව සලසා තිබීම නිසා ඒ ගැන දැනීමකින් යුතුව පරිසරය නැරඹීම හැකි වීම අගය කල යුතුයි.
ඔබට ඇවසි නම් දුම්රිය පෙට්ටි ඉදිරිපස සහ පිටුපසින් පිහිටා ඇති විවෘත වේදිකාවේ ඇති තරම් වේලාවක් ගමන් කල හැකියි. එවිට ටයරි ගෝර්ජ් නිම්නය හරහා ඇදී යන සීතල සුලග හා මිතුරු වෙමින් අවට සුන්දරත්වය හොඳින් විද ගන්නට අවසර ලැබෙනවා.
පැයකට වඩා වැඩි කාලයක් මෙහි ගමන් කල මගේ ඇගිලි සීතලට ගල් ගැසී ගියත් සීතලට නොපැරදෙන්නට අදිටනින් සිටි මා එතැනින් නික්මුණේ දුම්රිය පුකෙරින් වල නැවතූ විටයි.
ඉන්පසු දුම්රිය එන්ජිම දිසාව මාරු කරගන්නා තුරු එතැනින් බැස එහි තිබුණු කුඩා කෞතුකාගාරය නැරඹීමට මද වේලාවක් ලැබුනා.
නැවත ගමන ආරම්භ කරන විට දිවා ආහාරයට වේලාව එළඹ තිබුණු නිසා අප දුම්රිය තුල පිහිටා තිබූ ආපනශාලාව වෙත ගොස් දිවා ආහාරය මිලදී ගත් අතර එහි සිටි සේවිකාවන් දෙදෙනා ඉතා මිත්‍රශීලීව අපට අවශ්‍ය ආහාරපාන ලබා දුන්නා .
ටයරි ගෝර්ජ් නිම්නය පසු කරමින් ආපසු ගමනනේ යෙදුනු දුම්රිය අපව නැවතත් ඩනෙඩින් නගරයට ගෙන ආවේ සවස 2.30 ආසන්නයේ.
ඉතින් ඩනෙඩින් නගරයට සමුදුන් අප නවසීලන්තයේ දකුණු දිවයින වටා අපගේ ගමන සම්පූර්ණ කරමින් ඕමාරු, ටිමාරු සහ ඈශ්බටන් ආදී නගරයන් පසු කරමින් ක්‍රයිස්ට්චර්ච් නුවර කරා කිලෝමීටර් 360ක් ගමනේ යෙදුනා.





















නවසීලන්ත චාරික සටහන් 9 - ක්‍රයිස්ට්චර්ච් නුවර සිරි නැරඹීම සහ නැවතත් ඕස්ට්‍රේලියාව කරා පැමිණීම.

අද අපගේ නවසීලන්තය චාරිකාවේ අවසාන දිනයයි. නැවත ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට සවස 2 වනවිට ගුවන් තොටුපොළේ සිටිය යුතු නිසා අප උදාසනම නවාතැන් පොළෙන් නික්මුණා.
පලමු නැවතුම Cardboard Cathedral. 2011 වසරේදී ක්‍රයිස්ට්චර්ච් නුවර මුහුණ දුන් අවාසනාවන්ත භූකම්පනයෙන් ChristChurch Cathedral හානියට පත්වුනා. එම අවස්ථාවේ තාවකාලිකව කාඩ්බෝඩ් ,වීදුරු සහ දැව යොදාගෙන ව්‍යසනයන් සදහා මුහුණ දීමට සුදුසු ආකාරයට මෙම Cardboard Cathedral සැලසුම් කර තිබෙනවා. අන්තර්ජාතික සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පී ජපන් ජාතික Shigeru Ban මෙහි සැලසුම් ශිල්පියා. කෙසේ වෙතත් අරමුණ වෙනස් කරමින් පසුව මෙය ස්ථිර ගොඩනැගිල්ලක් ආකාරයට ඉදිකර තිබෙනවා. විශාල කාඩ්බෝඩ් බට ආධාර කරගෙන A අකුරේ හැඩයට ඉදිකොට ඇති මෙම පල්ලියේ ඉතා අලංකාර පාට වීදුරු යොදාගෙන තිබෙනවා
ඉන් අනතුරුව අප ගියේ ක්‍රයිස්ට්චර්ච් උද්භිද උද්‍යානයට. සුන්දර මල් සහ ශාක නරඹමින් අප විනෝද වන අතර කුඩා තාරා පැටවුන් පසු පස දිව යන්නට දරුවන් තැත් කලා.
උද්‍යානයේ සංචාරක මධ්‍යස්ථානය ඉතා ආකර්ෂණීය ආකාරයකට නිමවා තිබෙනවා. නවසීලන්තයේ මුල් වාසීන් වන මවුරි ජනයා ගැන මෙහිදී දැන ඉගෙන ගැනීමට අවස්ථා සලසා තිබුනා.
දහවල් 12 වනවිට අප පැමිනියේ මා පුලපුලා බලා සිටි තවත් සුන්දර අත්දැකීමක් ලබා ගැනීමටයි. ක්‍රයිස්ට්චර්ච් නුවර හරහා ගලා බසිනා ඇවොන් නදිය ඔස්සේ ඔරුව ක සවාරියක් යෑම අපේ නවසීලන්ත සංචාරකයේ අවසාන අංකයයි. සුන්දර උයන් වතු සහ නගරය මැදින් සෙමින් ඉදිරියට ඇදුනු ඔරුව හසුරුවන අතරම නගරයේ ඉතිහාසය පිළිබඳව කරුණු කියන්නටත් බෝට්ටුකරු අමතක කලේ නැහැ.
මෙයින් පසු අප ක්‍රයිස්ට්චර්ච් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අතර කලින් වතාවේ මෙන් නොව කිසිම කරදරයකින් තොරව නැවතත් ඕස්ට්‍රේලියාව බලා පැමිනියා.