Thursday 18 August 2022

උලූරූ මාර්ග චාරිකාව - දෙවන දිනය

කෝබාර් යනු වසර සියයකටත් වඩා පැරණි පතල් නගරයකි. කෝබාර් පිහිටා ඇත්තේ සිඩ්නි සිට වයඹ දෙසින් කිලෝමීටර් 690 ක් දුරිනි. 

දෙවන දිනයේ අපගේ පළමු නැවතුම වූයේ කෝබාර්හි  ෆෝර්ට් බෝර්ක් රන් සහ තඹ පතලයි. ඕපන් කට් මයිනින්ග් ආකාරයට කැණීම් සිදු කරන මෙම පතල දැනට ක්‍රියාත්මක වන එකකි. පතල මුදුනෙහි ආරක්ෂාකාරී වැටකින් යුතු නැරඹුම් වේදිකාවක් ඉදි කර ඇත්තේ එහි සිට පහළ පතල හොදින් නිරීක්ෂණය කර හැකි අයුරිනි.මීටර් 150 ක් ගැඹුරු පතුලෙහි සිට විශාල ට්‍රක් රථ හිමින් හිමින් පතල උඩට පැමිණෙන්නේ කැණීම් උපකරණ පටවාගෙනයි.





එයින් පසු අප කෝබාර් නගරයට නැවත පැමිණ නගරයෙහි සකසා තිබූ පැරණි පතල් කැණීම් උපකරණ, වාහන ආදිය ඇතුළත් කෝබාර් හෙරිටේජ් වෝල්ක් එක නැරඹුවා. කෝබාර්හි ඉදිකර ඇති කාර්මික නගර  ද්වාරයද විශේෂයි.







කෝබාර් නගරයෙහිදී දිවා ආහාරය ලබාගත් අපේ මීළග නැවතුම වූයේ මවුන්ට් ග්‍රෙන්ෆෙල් ජාතික වනෝද්‍යානයයි. කෝබාර් සිට විල්කෑනියා වෙත යන ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර හැටහයක ඉතාමත් පාළු සහ දුෂ්කර බොරළු මාර්ගයක කෙළවර මෙම වනෝද්‍යානය පිහිටා තිබෙනවා. . එළුවන්, බැටළුවන් සහ කන්ගරුවන් සුලභ වශයෙන්  පාර හරහා දුවන නිසා ප්‍රවේශමෙන් රිය පැදවිය යුතු උනා.






වසර දස දහස් ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියානු ආදී වාසී ඇබොරිජිනල් මිනිසුන් වාසය කළ ග්‍රෙන්ෆෙල් කන්දෙහි ඕස්ට්‍රේලියාවේ පාෂාණ චිත්‍ර(rock arts) කලාව පිළිබඳ හොඳම උදාහරණ ඇත. ප්‍රධාන වශන්යෙන් මෙම රූප සටහන් ගුහා තුනක විසිර ඇති අතර ඒවායේ මිනිසුන්, කැන්ගරුවන්, කුරුල්ලන් සහ වෙනත් සත්ව රූප ඇතුළුව වර්ණවත් රූප 1,300කට වඩා අඩංගු වේ. මිනිස් වාසස්ථානයෙන් දුරස්ථ වූ මෙම ස්වාභාවික පරිසරය තුළ අප ගත කල පැය කිහිපය ඉතාමත් රසවත් උනා.








නැවත එම බොරළු මාර්ගය දිගේ ප්‍රධාන පාරට පැමිණි අප විල්කෑනියා දෙසට රිය ධාවනය කලා.  




විල්කෑනියා පාලම අපගේ මීළඟ නැවතුමයි. 



විල්කෑනියාවේ ඩාර්ලිං ගඟ හරහා 1896දී ඉදි කරන ලද පාලම මධ්‍ය-එසවුම් (centre lift) ඉදිකිරීමකි. ගඟ හරහා ගමන් කරනා වාෂ්ප බෝට්ටු ඉතා උස නම් ඒවාට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සලසන පරිදි එසවිය හැකි ආකාරයෙන් මෙම පාලම ඉදි කර තිබෙනවා.විල්කෑනියා නගරයේ සිත්ගන්නාසුලු ඓතිහාසික ගොඩනැගිලි නරඹමින් අප රාත්‍රිය වනවිට බ්‍රෝකන් හිල්ස් නගරය වෙත කිලොඅමීටර් 475ක ගමන නිමා කලා.





No comments:

Post a Comment