Saturday 20 August 2022

උලූරූ මාර්ග චාරිකාව - හතරවන දිනය

 කාන්තාරය මැද පොළව යට ඉදිවුනු නගරයක් ගැන ඔබ අසා තිබෙනවාද? වසර පුරා මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 සිට 50 දක්වා වෙනස් වන පරිසරයක පොළව යට ඉදිවුනු මෙම නිවාස හැම වෙලෙහිම සෙල්සියස් අංශක 21 සෞම්‍ය තත්වයක  පවතී. පාසැල් ගොස් පැමිණෙන තම දරුව අතට කැණිම් උපකරණ ලබා දී නිවසට තවත් කාමරයක් එකතු කිරීමට ඔවුන් සමග  කැණීම් සිදු කරන දෙමාපියන් මෙම නගරයෙහි වසර කීපයකට පෙර  වාසය කර ඇත.  එපමණක් නොවේ එවැනි  කැණීම අතර තුර ඕපල් ගල් හමුවීමේ වාසනාවත් ඔවුනට තිබේ. නමුත් පසුකාලීනව අසල්වාසීන් එකිනෙකාගේ ගෙවල් තුලට නොදැනම කැනීම් සිදු කර ඇති අතර මෙම අලකලන්චිය නවතා දැමීම සදහා නගර සීමාවේ ගෙවල් තුල කැනීම් සිදු කිරීම මේ වනවිට තහනම් කර ඇත.

මේ සියලු අපූර්වත්වයන් අත්විදින්නට හැකි ලෝකයේ ඕපල් අගනගරය මෙන් හදුන්වන කූබර් පෙඩි  (Coober Peddy) අද අපගේ කිලෝමීටර 540 ක ඈතින් පිහිටි  ගමනාන්තයයි. 

1852 වන විට දකුණු ෆ්ලින්ඩර්ස් කඳු වැටිය පුරා සහ උතුරු ෆ්ලින්ඩර්ස් කඳුවැටිය තුළට එඬේරන්ගේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා හැකිතාක් ගල්ෆ් ප්‍රදේශයට ආසන්නව වරායක් පිහිටුවීමේ අවශ්‍යතාවය පැන නැගී තිබුනි. ඒ අනුව පිහිටුවන ලද නගරය පෝට් ඔගස්ටා ලෙස  නම් කරන ලද්දේ එවකට දකුණු ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් හෙන්රි ෆොක්ස්ගේ බිරිඳ වන ඔගස්ටා ආර්යාව අනුව ය. පැරණි ගොඩනැගිලි හොදින් සංරක්ෂණය කර ඇති පොර්ට් ඔගස්ටා සුන්දර නගරයකි.

උදෑසන ආහරය නවාතැන් පොළෙහිදීම ලබා ගත් අපගේ එදින පළමු නැවතුම වූයේ පෝට්  ඔගස්ටා නගරයට ආසන්නයේ පිහිටි නැරඹුම් කුළුණකි(water tower lookout) 1882 වසරේදී ඉදිවුනු මෙම කුළුණ, නගරයට අවශ්‍ය ජලසම්පාදනය කිරීම සදහා යොදා ගත් විශාල ජල ටැන්කියකින් යුතු විය. පසුකලෙක එය නැරඹුම් කුළුණක් බවට පරිවර්තනය කර ඇත්තේ එහි මුදුනට නැගුන විට පෝට්  ඔගස්ටා වටා අංශක 360ක සුන්දර දර්ශනයක් ලබා දෙන ස්ථානයක පිහිටි නිසාය. මෙම කුළුණේ මුදුනේ ඇති බැල්කනියේ සිට නගරය, ස්පෙන්සර් ගල්ෆ් සහ  ෆ්ලින්ඩර් කඳුවැටියේ විශිෂ්ට දර්ශන භුක්ති විඳිය හැකිය. දකුණු ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේදී සාගරය රට ඇතුළට වැදුනු බොක්ක  ස්පෙන්සර් ගල්ෆ් යනුවෙන් හදුන්වනු ලැබේ. 




මීලගට අප පෝට්  ඔගස්ටා නගරය හරහා මැතිව් ෆ්ලින්ඩර්ස් නැරඹුම් සථානය(Matthew Flinders lookout) කරා රිය ධාවනය කලා. ඕස්ට්‍රේලියානු ඇරිඩ් ලෑන්ඩ් උද්භිද උද්‍යානයේ(Arid Lands Botanic Gardens) කොටසක් වන මෙම ස්ථානය, පෝට් ඔගස්ටා සහ ඒ අවට ප්‍රදේශය මෙන්ම ෆ්ලින්ඩර්ස් කදු වැටියද ස්පෙන්සර් ගල්ෆ් සහ නගරයට පැමිණෙන දුම් රිය නිරීක්ෂණය කිරීමටද හැකි අතිශය සුන්දර ස්වභාවික ආකර්ෂණයකි. 






එතැනනි නික්මුනු පසු අප දිගටම රිය පදවූයේ නේක වර්ණයන්ගෙන් දිස්වන ශේෂ කදු බොහොමයක් පසු කරමින්.





කූබර් පෙඩි සහ පෝට් ඔගස්ටා අතර ස්ටුවර්ට් අධිවේගී මාර්ගයට ඔබ්බෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති හාර්ට් විල අපගේ ගමනේ ඊළඟ නැවතුමයි.  මෙම විලෙහි අලංකාර ලුණු ස්පඨික දිලිසෙන අයුරු දැකීමට ලස්සන දසුනක්.  



මේ වනවිට අප පෝට් ඔගස්ටා සිට කිලෝමීටර 180ක පමණ දුරක් පැමිණ තිබුනා, එය දිනයේ මුළු දුරින් තුනෙන් එකක් පමණ.

බොහොමයක් දුරට කිසිම ජනාවාසයක් නොමැති, දුරකථන සංඥා නැති පාලු ප්‍රදේශ කිලෝමීට සිය ගානක් පුරාවට විහිදී තිබුනා. ඉදහිට පසුවන අනෙකුත් සංචාරකයන් මිස පාරේ කිසිවෙකුත් දකින්නට හිටියේ නැහැ, මෙවැනි ගමන් එන විට කල් ඇතුවම වාහන සදහා ඉන්ධන ලබාගෙන ඒම අනිවාර්යයයි.

අප සිංහල සිංදු විශාල ප්‍රමාණයක් භාගත කරගෙන පැමිණි සිටි හෙයින් මග දිගට ලයාන්විත සංගීතයත් නිමක් නොපෙනෙනා පාරිසරික සුන්දරත්වත් විදිමින් දහවල් එක  පමණ වන විට කූබර් පෙඩි සීමාවට පැමිණියා.

නගරයට පිළිගන්නා පුවරුව ඕපල කැණීම් සදහා යොදා ගන්නා වාහනයක් ආකාරයෙන් නිමවා තිබුනා. ඕපල් යනු මැණික් වැනි ඛණිජ පාෂාණයකි. ලන්කාවේ රත්නපුර ප්‍රදේශය මැණික් සදහා ප්‍රසිද්ධව පවතිනවා මෙන් කූබර් පෙඩි ඕපල් සදහා ලෝක ප්‍රසිද්ධ වේ.




අප එදින දිවා ආහාරය ලබා ගත්තේ කූබර් පෙඩි වලදී. කුඩා නගරයේ ඕපල් ආභරණ සැල් කීපයක්ම පිහිටා ඇති අතර, දිවා ආහාරයෙන් පසු අප ඒවා යේ ඇවිද ගිය අතර ඕපල් ගැන නොයෙක් තොරතුරු කීමට කඩ හිමියන් බොහොම කැමැත්තෙන් ඉදිරිපත් උනා. 

ඉන්පසු කලින් වෙන්කරවා ගත් උමූනා ඕපල් කෞතුකාගාර සන්චාරයෙහි යෙදීමට අවස්ථාව ලැබුනා. එහිදී කූබර් පෙඩි සහ ඕපල් වල අතීත කරුණු ඇතුළත් කර නිපදවූ කෙටි චිත්‍රපටියක් මුලින්ම නරඹන්නට ලැබුනා. 1915 වසරේදී මෙම ප්‍රදේශයේ රත්තරන් නිධි සොයමින් ආ ඉන්ග්‍රීසි ජාතික කණ්ඩායමක් තමන් ගෙන ආ වතුර ඉවර වීම නිසා බොහෝ අපහසුතාවයන්ට මුහුණ දුන්න. වතුර යනු කූබර් පෙඩි ප්‍රදේශයෙ විශාල ගැටළුවක් වන්නේ එය කාන්තාර ප්‍රදේශයක් වීම නිසා.  ඉතින් මෙම කණ්ඩායම පහළොස් වියැති විලියම් හචින්සන්ට කඳවුර බලාගැනීම පවරා වතුර සොයා යනවා. ඔවුන් නැවත් පැමිණෙන විට ගිනි මැලය නිවී ගොස් තිබූ අතර කිසිවකුත් කදවුරෙහි නොහිටි නිසා විලියම් හචින්සන් කෙරෙහි කෝප වී සිටිද්දී පහළොස් වි‍යති මානවකයා ආපසු කදවුරට පැමිණ ඇත්තේ වතුරත් ඕපලුත් දෙකම සොයා ගෙනයි. මීට ප්‍රථමයෙන් මෙම ප්‍රදේශවල ජීවත් වූ ආදිවාසීහු ඕපල් දැක තිබුනත්, භෞතික වස්තූන් කෙරෙහි තැකීමක් නැති  ඔවුන්ට ඒවායේ අගයක් තිබී නැහැ. 

එයින් පසු පැරණි පතල්, දෝනා තුල ගමන් කරමින් ඒ කාලයේ පතල් කරුවන් පොළව යට ජීවත් වූ පැරණි පතල් නැරඹීමටත් සැබෑ ඕපල් නිධියක් බලාගැනීමටත් අපට අවස්ථාව උදාඋනා. පොළව යට සිදු කල ඒ සන්චාරය ඉතා සුවිශේෂයි.

ඉන්පසු කෞතුකාගාරයෙහි ඇති වසර මිලියන ගනනක් පැරණි සත්ව අවශේෂ ඇතුළත් ෆොසිල කාමරය, කැණීම් සදහා යොදාගත් පැරණි උපකරණ සහ ආභරණ අලෙවි සැලෙහි ප්‍රදර්ශනය කර තිබූ  ඕපල් ආභරණ ආදියත් අප දැක බලා ගත්තා.









රෑ අඳුර වැටී ගෙන එද්දී අප එදින රැය ගත කිරීමට වෙන් කරවා ගෙන තිබුනු පොළව යට අපාර්ට්මන්ට් එක කරා ගියා. එය නම් සුවිශේෂී අත්දැකීමක්ම උනා. වසර මිලියන 150 කට පෙර මුහුදට යටව තිබුන මෙම කූබර් පෙඩි ප්‍රදේශයේ වතුර බැස යාමත් සමගම ගල් අතර හිරවූ සිලිකා වැලි කාලයත් සමගම ඕපල් බවට පත්ව තිබෙනවා. මෙම විශ්මිත කරුණු සිහි කරමින් ඒ අසාමාන්‍ය හෝටලයේ අපි රාත්‍රිය ගත කරා. 

මෙම නගරයේ ජනගහනයෙන් 60%ක් තාම ජීවත් වෙන්නේ පොළව යට ගෙවල්වල වන අතර වැඩි ප්‍රමාණයක් හෝටල් තියෙන්නේත් පොළව යට. 






No comments:

Post a Comment