Friday 19 August 2022

උලූරූ මාර්ග චාරිකාව - තෙවන දිනය

 අද අපේ ගමනේ තුන්වන දිනයයි. කිලෝ මීටර් 624ක් මග ගෙවා ගෙන  බ්‍රෝකන් හිල්ස් සිට ෆ්ලින්ඩර්ස් කදු වැටිය හරහා පෝර්ට් ඔගස්ටා වෙත යන දවස. 

ජාතික උරුම ලැයිස්තුවට ඇතුළත් කළ පළමු ඕස්ට්‍රේලියානු නගරයවන බ්‍රෝකන් හිල්ස්,  රිදී, ඊයම් සහ සින්ක් කැණීම් සදහා ප්‍රසිද්ධ වූ නගරයකි.

උදෑසන ආහාරය කලින්ම ලබා ගත් අප බ්‍රෝකන් හිල්ස් සිට කිලෝමීටර් 12 ක් දුරින් පිහිටා ඇති සජීවී කාන්තාර මූර්ති උද්‍යානය(Living Desert State Park) වෙත ගියා. 1993 වසරේදී විල්කානියා සිට ගෙන එන ලද අති විශාල සෑන්ඩ්ස්ටෝන් යොදාගනිමින් ලොව පුරා විවිධ නගර වලින් එක් රැස් වුන දක්ෂ මූර්ති ශිල්පීන් දොළොස් දෙනෙකු  විසින් මෙම මූර්ති නිර්මාණයන් සිදු කොට තිබෙනවා. උදෑසන හිරු කිරණ මහ පොළව සිප ගනිමින් එම මූර්ති රන්වන් පැහයෙන් ආලෝක කරන අයුරු ඉතාමත් මනරම් දර්ශනයක් වුනා. 







හෙක්ටයාර 2400ක භූමි ප්‍රදේශයක පැතිර පවත්නා ශාක සහ සත්ව අභය භූමියක් මෙම මූර්ති උද්‍යානය වටා පැතිර පවතින අතර එයද ඉතාමත් මන්ස්කාන්ත දසුන් මවා පෑවා.




අකමැත්තෙන් උනත් අප එම සුන්දර ස්ථානයෙන් පිටවී දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දිශාවට රිය ධාවනය කරා. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළත් වීමේදී අප සතුව පැවති පළතුරු සියල්ල ඉවතලීමට නිරෝධායාන මධ්‍යස්ථානයේදී උපදෙස් ලැබුනා. දකුණු ඕස්ට්‍රේලියාව විශාල වශයෙන් එළවළු සහ පළතුරු නිශ්පාදනය කරන නිසා මෙම සීමා කිරීම් සිදු කරනු ලබනවා.



අතරින් පතර කාලයකට කලින් අතහැර දමන ලද නිවාස ආදිය ගරා වැටී තිබෙනු දැකිය හැකි මුත්, මිනිස් ජනාවාස නම් තිබුනේම නැති තරම්






ෆ්ලින්ඩර්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ,  ඇඩිලේඩ් සිට කිලෝමීටර් 246 ක් උතුරින් පිහිටා ඇති ඓතිහාසික දුම්රිය නගරයක් වන පීටර්බරෝ අපේ දිවා නැවතුම් පල උනා. එහි ප්‍රධාන සංචාරක ආකර්ෂණය වන්නේ "ස්ටීම්ටවුන්" හෙරිටේජ් දුම්රිය මධ්‍යස්ථානයයි.



රසවත් දිවා ආහාරයකින් පසු අප ෆ්ලින්ඩර්ස් කදු වැටිය කරා නික්මුනා. ඉර බැස යන වෙලේ රත් පැහැයට හුරු අමුතුම වර්ණාවලියකින් හැඩ උන ෆ්ලින්ඩර්ස් කදු වැටිය අපේ ගමනට තවත් නොමැකෙන මතක සටහනක් එක් කලා.  එම කදු පන්තිය පුරා ඒ මේ අත පැන යන කැන්ගරුවන්ගෙන් අඩුවක් තිබුනේ නැහැ.

බ්‍රිතාන්‍ය නාවිකයෙකු සහ සිතියම් ශිල්පියෙකු වූ, ඕස්ට්‍රේලියානු භූමිය ගවේෂණය කිරීමෙහි ලා මූලික වුනු, කපිතාන් මැතිව් ෆ්ලින්ඩර්ස් වෙනුවෙන් නම් කර ඇති මෙම කදු වැටිය දකුණු ඕස්ට්‍රේලියාවෙහි ඇති විශාලතම කදු පන්තියයි. රෙඩ් හිල් ලුකවුට් නම් ස්ථානයේ සිට ෆ්ලින්ඩර්ස් කදු වැටිය පසුබිමින් හිරු බැස යන අපූර්ව දර්ශනය නරඹමින්  අප ගත කල ඒ සැදෑ හෝරාව අතිශය ආනන්දජනක අත්දැකීමක් උනා.








එතැන් සිට කිලෝමීටර් 150ක දුරක් ගෙවමින් අප පෝර්ට් ඔගස්ටා නගරය වෙත පැමිණියේ රෑ කළුවර අතරිනුයි.



No comments:

Post a Comment