Tuesday 23 August 2022

උලූරූ මාර්ග චාරිකාව - අටවන දිනය

 අද අප ඇලිස් ස්ප්‍රින්ග්ස් අවට ආකර්ෂණීය ස්ථාන නැරඹීම සදහා යොදා ගෙන තිබුනා. රාත්‍රිය නැවතත් මෙහිම නවාතැන් ගන්නා නිසා දවස මද විවේක කාරී ස්වභාවයක් තිබුනා. 

හෝටලයේ බුෆේ එකෙන් රසවත් උදෑසන ආහාරයක් ලබාගත් අපිට බුෆේ මැනේජර් වශයෙන් රාජකාරී කරන ශ්‍රී ලාන්කිකයකු හමුවී කතා කිරීමට ලැබීම සතුටු කරුණක් උනා.

අප නවාතැන් ගත් හෝටලයේ සිටි මොණරා

ඉන් පිටත් වී බටහිර දෙසින් පිහිටා ඇති මැක්ඩොනෙල් කදු පංතිය දෙසට පැය භාගයක් ගමන් කල අපි සිම්ප්සන්ස් දුර්ගය(Simpsons Gap) කරා පැමිණියා. 


සිම්ප්සන්ස් දුර්ගය කරා

සිනිදු සුදු වැලි තලාවක් කෙළවර ජල තටාකයක්  මත්තෙන් මෙම සුන්දර දුර්ගය පිහිටා ඇත්තේ මැක්ඩොනෙල් කදු පන්තියේ කදු දෙකක් යා කරමින්





එතැනින් පිට වුනු අප තවත් කිලෝමීටර කීපයක් ප්‍රධාන මාර්ගය දෙසට පැමිණ රිය නතර කලේ කැසියා කන්ද මුදුනට වන පාගමන සදහා. එහි මුදුනට පැමිණි කල මැක්ඩොනෙල් කදු පංතිය බොහෝ දුරක් යනකන් දැකිය හැකි උනා. අප කලින් නැරඹූ සිම්ප්සන්ස් දුර්ගයත් මෙතනට හොදින් දර්ශනය උනා.පා ගමන ආරම්භ කරන ස්ථානයේ කුඩා ලී පෙට්ටියක් තුළ මෙම ගමනේදී දැකිය හැකි නොයෙක් පැලෑටි සහ ශාක ගැන විස්තර අඩංගු පත්‍රිකා තබා තිබුනා, එයින් එකක් රැගෙන ගිය නිසා අපිත් මග දිගටම ශාක වර්ග හදුනා ගනිමින් සතුටු උනා. ගමන අවසානයේ එම පත්‍රිකා නැවත පෙට්ටිය තුළට දමා ආවේ එහි තිබූ ඉල්ලීම පරිදි මීළග සන්චාරකයන්ටත් පාවිච්චි කිරීමට හැකි වන පරිදි.


කැසියා කදු මුදුනට පෙනෙන සිම්ප්සන් දුර්ගය

මීළගට අප ඔටු ගොවිපළක් නැරඹූ අතර මගේ කුඩා දියණිය ඔටුවන්ට නම් තබමින් ඔවුන් හා කතා කරමින් සතුටු උනා.


මෙතෙක් වේලාවක් බටහිර මැක්ඩොනෙල් කදු පන්තියේ සුන්දරත්වය විදිමින් සිටි අප ඊළගට සූදානම් උනේ නැගෙනහිර මැක්ඩොනෙල් කදු පන්තියේ පිහිටා ඇති දුර්ග දෙකක් නැරඹීමට යාමටයි. එමිලි ගැප් සහ ජෙසී ගැප් යනුවෙන් හදුන්වන දුර්ග දෙකම ආදිවාසී ඇබොරිජිනල් ජනතාවට සන්ස්කෘතිමය වටිනාකමින් යුතු ස්ථාන. ඒවායේ සුන්දර ආදිවාසී රොක් ආර්ට් දැකිය හැකි නමුත් ඡායාරූපගත කිරීම තහනම් වන්නේ ඇබොරිජිනල් වරුන්ට ඒවයේ ඇති වැදගත් කම නිසා. ඔවුන් විශ්වාස කරනවා සමහර දේවල් ඒවායේ ස්වාභාවික පරිසරයේදී මිස අනිත් අයුරකින් මිනිස් ඇස නොගැටිය යුතුයි කියා.

එමිලි ගැප්

අප නැවත ඇළිස් ස්ප්‍රින්ග්ස් නගරයට පැමිණ හිරු බැස යැම නැරඹීම සදහා ඇන්සැක් හිල් නැමති කුඩා කදු ගැටය මුදුනට ගියා. එහිදී නෙක වර්ණයන්ගෙන් යුතු සැන්දෑ අහසත්, අංශක 360 ක ඇලිස් ස්ප්‍රින්ග් නගරයේ දර්ශනයත් නරඹමින් සිටි අපි හිරු බැස යාමෙන් පසු රාත්‍රී ආහාරය ලබා ගැනීමට පිටත් උනා. 

ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරයේ දසුනක්

ඇන්සැක් කදු මුදුනට දිස්වන ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරයේ දසුනක්

ඇන්සැක් කදු මුදුනට දිස්වන මැක්ඩොනෙල් කදු පන්තිය ඔබ්බෙන් හිරු බැස යාම

එදින උතුරු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිදහස් දිනය වශයෙන් හදුනවන දිනයයි, ඉතින් රාත්‍රී ආහාරයෙන් පසුව ඇලිස් ස්ප්‍රින්ග් නගරයේ නිදහස් දිනය සමරා පැවැත්වෙන සැණකෙළි බිමට ගොස් ගිණි කෙළි සන්දර්ශනය නරඹන්නටත් අපි අමතක කලේ නැහැ.





Saturday 20 August 2022

උලූරූ මාර්ග චාරිකාව - හත්වන දිනය

අද අප උලූරූ වලින් පිටත්ව කින්ග්ස් කැන්යොන් නැරඹීමට යන දවසයි, ඉන් අනතුරුව රැය ගත කිරීම සදහා ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරය දක්වා යායුතුව තිබෙනවා. මෙම මුළු ගමන කිලෝමීටර 634ක්.

උලූරූ නොපෙනී යනතුරුම අප එයට සමුදුන්නා. ඉන්පසු කින්ග්ස් කැන්යොන් කරා යන තුරුම විශේෂයෙන් නැරඹීමට කිසිවක් තිබුනේ නෑ. නමුත් ඒ ගමනත් මග දිගටම සුන්දරයි, මේ ගමන් පුරා මා දුටු විශෙෂත්වය නම්, පරිසරය එකකට එකක් නොදෙවෙනි ආකාරයට සුන්දර අතරම එකකට එකක් වෙනස් වීමයි. 


කින්ග්ස් කැන්යොන් පිහිටා ඇත්තේ වටාර්කා ජාතික වනෝද්‍යානයේයි. 



එදින  අප දිවා ආහාරය ලබා ගත්තේ කින්ග්ස් කැන්යන් රථ ගාලෙහිදී. 



ඉන් පසු අප කිලෝමීටර් 6ක කින්ග්ස් කැන්යන් පා ගමන ඇරඹුවා. 

වසර මිලියන විස්සකට ප්‍රථම මෙහි ගල්තලා මත ප්‍රථමයෙන් සිදු වූ කෙස් ගස් පමණ වූ පැල්මවල් හරහා කාලයත් සමගම වැහි වතුර ඇතුළට කාන්දු වී තිබෙනවා,අව්ව වැස්ස සහ හුළඟ කාලාන්තරයක් මුළුල්ලෙහි මෙම පැල්මවල් විශාල ලෙස ඛාදනය කිරීම නිසා කැන්යොන් එක නිර්මාණය වී තිබෙනවා.


අප සිදුකල පාගමන රිම් වෝල්ක් යනුවෙන් හදුන්වනු ලබනවා, එය කින්ග්ස් කැන්යොන් සම්පූර්ණයෙන්ම ආවරණය වන ගමනක්. රිම් වෝක් හි පළමු අදියර වන දුෂ්කර පඩිපේළිය අභියෝගාත්මක  පියවර 500කින් පමණ යුතු වේ. හැම විටම කන්ද අයිනේ සිට  අවම වශයෙන් මීටර් පහක් දුරින් සිටීමට වග බලා ගන්නා ලෙස හැම තැනම ආරක්ෂක පුවරු සවි කර තිබෙනවා.



රිම් වෝල්ක් එක යෑමේදී දක්ෂිණාවර්තව යෑම වැදගත් වෙන්නේ වාමාවර්තව යෑමේදී එක් පසකට පමණක් විවුර්ත කල හැකි කඩුල්ලකින් ගමන මගදී සීමා වන නිසා. එවිට සම්පූර්ණ වටයම යාමට නොහැකි වෙනවා

ගාර්ඩන් ඔෆ් ඊඩන්, ලොස්ට් සිටි ආදී ඉතාමත් මනස්කාන්ත අංග මෙම මග දිගටම නිරීක්ෂණය කල හැකි. 




















කන්ද පහළට පැමිණි අප එතැන් සිට කිලෝමීටර් 10ක දුරින් පිහිටි  රිසෝර්ට් එක වෙතට රිය ධාවනය කලේ රාත්‍රී ආහාරය කලින්ම ලබා ගෙන ගමනේ ඉතිරිය ආරම්භ කිරීමටයි.

කින්ග්ස් කැන්යොන් සිට ඇලිස් ස්ප්‍රින්ග්ස් සදහා වන කිලෝමීටර් 330ක දුර ගෙවීමට මාර්ග දෙකක් ඇති අතර අප තෝරා ගත්තේ දුෂ්කර වූ කෙටි මාර්ගයයි. මාර්ග තත්වය නිසා මෙහි ධාවනය කල හැක්කේ ෆෝර් වීල් ඩ්‍රයිව් වර්ගයේ වාහන වලට පමණි. එලෙසම ඒ සදහා විශේෂ බලපත්‍රයක් ලබාගත යුතු වන්නේ පාරම්පරික ආදිවාසී ඉඩම් හරහා මෙම මාර්ගය වැටී ඇති හෙයිනි.

එදින රාත්‍රී 11 පමණ වන විට අප ඇලිස් ස්ප්‍රින්ග්ස් හි නවාතැන්පළ වෙත ලඟා වුනු අතර ඒ වනවිට දීර්ඝ ගමනත් දහවල සිදු කල කින්ග්ස් කැන්යොන් පා ගමනත් නිසා අප සැවොම අතිශයින් වෙභෙසට පත්ව සිටියෙමු.



උලූරූ මාර්ග චාරිකාව - හයවන දිනය

වසර ගනනාවක් පුරා ආසාවෙන් බලා සිටි ඒ දිනය එළඹී තිබුනි. උදේ රැයින් නැගිට ගත් අපි වහා ඇද පැළද ගෙන උලූරූ බලා නික්මුනා.

අයර්ස් රොක් රිසෝර්ට් එකේ සිට පැය භාගයක පමණ ගමනක් ඒ සදහා ගත වෙනවා. උලූරු වෙතට එළබීමට අවසර පත්‍ර මිලදී ගත යුතු අතර අප කල් ඇතුවම ඒවා අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන තිබීම පිවිසුම් ද්වාරය අසලදී පහසුවක් උනා.

හිරු උදාවත් සමගම උලූරූ පර්වතය අලන්කාරව දිස්වෙන විශේෂ ස්තාන කීපයක් ඇති අතර ඒ තැන් වල නැරඹුම් වේදිකා සකසා තිබෙනවා  (Talinguru Nyakunytjaku - Uluru Sunrise Viewing Area). අපත් මේ හිමිදිරි හිරු උදාවට පෙර කඩිනමින් නික්මුනේ ඒ සදහායි. හිරු උදාවට නියමිත වේලාව පසු වන තුරුත් අප සහ තවත් බොහෝ දෙනා එහි රැදී සිටියත් අවාසනාවට එදින වළාකුළු බහුල බැවින් හිරු උදාව අලන්කාරව බලා ගන්නට නොහැකි උනා.

එහෙත් උලුරු පර්වතයෙහි මනස්කාන්ත බව අඩු නොමැතිව විදගන්නට නම් එයින් බාධාවක් උනේ නැහැ.




ඉන්පසු අප එහිදී උදෑසන ආහාර ලබා ගත්තා. 

එයින් අනතුරුව අප උලූරූ වටා පා ගමන ආරම්භ කරා. 

එහිදී මුළු උලූරූ පර්වතය වටාම කිලෝමීටර දහයකට වඩා වැඩි දුරක් පා ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඕස්ට්‍රේලියානු ආදි වාසීන් විසින් සිත්තම් කරන ලද රොක් ආර්ට්ස් වලින් යුතු ගුහා, වතුර පිරි පොකුණු, අතීතයේදී ආදිවාසී ඇබොරිජිනල් ජනතාව වාසය කරන ලද ගල් ගුහා, ඔවුන්ගේ වැඩිහිටියන් විසින් කුඩා දරුවන්ට අවශ්‍ය දැනුම ලබාදුන් ගල් ගුහා සහ දුර්ග මාර්ගයක්  ආදී නොයෙකුත් ස්වාභාවික ආකර්ෂණ මෙම පා ගමන පුරා අත්දකින්නට හැකියි. අප දුටු එක ගල් ගුහාවක් ආහාර සකසා අවශ්‍ය අයට බෙදා දීම සදහා පාවිච්චි කර තිබෙනවා, ඒ අවටම මහළු ආදිවාසීන් ජීවත් වූ ගල් ගුහාවට මෙමගින් ආහාර පාන සපයා තිබෙනවා. 

අප රටේ ආදී වාසීන් මෙන්ම මෙම ඇබොර්ජියන්වරුත් තම මියගිය ඥාතීන්ගේ ආත්මයන් තමන් වටා රැදිමින් සිටිනා බව තරයේ විශ්වාස කරනවා. ඒ හා සබැදුනු බොහෝ විශ්වාසයන් නිසා ඔවුන්ට උලූරූ ශුද්ධ වූ භූමියක්, මෙනිසා 2019 වසරේදී උලූරූ පර්වතය තරණය කිරීම තහනම් කරනු ලැබුවා. ඒ වගේම උලූරු  පර්වතය වටා සමහරක් ස්තාන ඡායා රූපගත කිරීම තහනම් කර තිබෙනවා. ඒවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වනවාදැයි නිරීක්ෂණය කිරීමට කිසිවකු නැතත් හැම දෙනාම ඒ පාරම්පරික උරුමයන්ට ගෞරව කරමින් හැසිරෙනවා. 








උලූරු වටා ගමන් කිරීමට ලැබීම මා ලද වටිනා අවස්ථාවක්, වටයම සම්පූර්ණ කල මොහොතේ මා ඉතා සතුටු උනා. අවසාන භාගය මා ඇවිද්දේ තනිවම බැවින් එතැනින් ගිය වෙනත් සන්චාරකයකු ලවා මගේ ඡායා රූපයක් ලබා ගත්තේ එය විශේෂ මොහොතක් නිසා.   එය මට එම ස්ථානයේදී ලබා ගත් අනෙත් ඡායා රූප සියල්ලට වඩා වටිනවා.



සම්පූර්ණ පා ගමන අවසාන වන විට හවස තුනටත් ආසන්න වී තිබුනා, අපට සන්චාරක තොරතුරු මධ්‍යස්ථානයටද යෑමට  අවශ්‍ය වුනු නිසා දිවා ආහාරය අමතක කොට අප ඒ සදහා නික්මුනා.

එතැනදී උලූරූ වටා බැදුනු ඇබොරිජිනල් පුරාවෘත්ත, ආදිවාසීන්ටම උරුම වූ චිත්‍ර ආදී නොයෙක් තොරතුරු අපට දැන ගත හැකි උනා.

හවස හතරට ඉන් නික්මුනු අප, හිරු බැස යන වේලාවට උලූරූ මනස්කාන්ත ලෙස දර්ශනය වන ස්ථානයක්  කරා රිය පැදවූවා. නැවතත් යුලාරා වෙතට යන තුරුම ආහාර මිලදී ගත හැකි ස්තානයක් මේ අවට පිහිටා තිබුනේ නැහ. ඉතින් ලග තිබූ ජංගම ගෑස්  උදුනක් උපයෝගී කරගෙන මෙහිදී අප ආහාර පිස ගත්තේ උලූරූ පසුබිමට වී අප දෙස බලා සිටියදී. ආහාර ගෙන අස්ස්පස් කල අප ඉදගෙන හිරු බැස යන තුරු බලා සිටියදී හිරු බැස යන මොහොතේදී උලූරුහි චමත්කාරය විදිනු කමැත්තෝ තවත් බොහොමයක් දෙනා ඒ අවට පිරී ගියා.




එම දර්ශනීය දසුනින් පසු මහන්සියෙන් නමුත් සතුට පිරුනු සිතින් යුතුව අප නැවතත් යුලාරා වල අයර්ස් රොක් රිසෝර්ට් කරා වන අඩ හෝරාවක ගමනට නික්මුනා.