Sunday 4 September 2022

උලූරූ මාර්ග චාරිකාව - නවවන දිනය

දින දොළහක  දිගු චාරිකාවේ අද අප ගත කරන්නේ නවවන දිනයයි. 

ඇලිස් ස්ප්‍රින්ග්ස් සිට ටෙනන්ට් ක්‍රීක් නගරය දක්වා වන කිලෝමීටර් 500කට මදක් වැඩි දුර ගෙවා යන ගමනේ ආකර්ෂණීය ස්ථාන කීපයක්ම නැරඹීමට සැලසුම් කරගෙන අප ඇලිස් ස්ප්‍රින්ග්ස් නවාතැනට සමුදුන්නා,

දවසේ පළමු නැවතුම ස්ටුවර්ට් අධිවේගී මාර්ගය දිගේ ඇලිස් ස්ප්‍රින්ග්ස් සිට කිලෝමීටර 129 ක් උතුරින් පිහිටා ඇති ඓතිහාසික වටිනා කමින් යුතු රයන් ළිඳයි. 1889 දී යන්ත්‍ර භාවිතයෙන් තොරව මිනිසුන් විසින් මෙම ළිඳහාරා ඇත්තේ ඕවර්ලන්ඩ් ටෙලිග්‍රාෆ් මධ්‍යස්ථාන යා කරමින් ඇති මාර්ගය ඔස්සේ ඇවිද ගිය සංචාරකයින්ට සහ ගවයන් ඇතුළු ගොවිපල සතුන් ප්‍රවාහනය් කල එඩේරුන් සඳහා ජලය සැපයීම සඳහායි.



ළිං ඉදි කිරීම පිළිබඳ ප්‍රවීණයෙකු වූ නෙඩ් රයන් නම් ගල් වඩුවා මෙය නිර්මාණය කර ඇති අතර ළිඳ ඔහු නමින් නම් කර ඇත. ඒ සදහාම පුරුදු කරන ලද අශ්වයෙකු හෝ ඔටුවෙකු යොදාගෙන ලීටර 70ක වතුර ප්‍රමාණයක් එක වරකට ළිදෙන් ඇදගෙන ඒ අසලම පිහිටා තිබූ ටැංකියකට පිරෙන අයුරින් මෙය නිර්මාණය කර තිබී ඇත. එලෙසම අවශ්‍ය නම් තනි වතුර බාල්දියක්  ඇද ගැනීමටද හැකියාව තිබී ඇත. ඒ අතරම සංචාරකයන් සදහා  මුදලක් අය කරමින් වතුර ඇද දීමේ සේවා සපයන්නකුද මෙහි සේවය කර ඇත.


රයන් ළිඳ ලගින් නික්මුණු අප තවත් කිලෝමීටර් දහයක ගමනකින් පසු නැවතුනේ ඒලරෝන් නම් කුඩා නගරයේයි. මෙහි ඇති  විශේෂත්වයනම් මීටර් 17ක් උසින් යුතු කදු මුදුනක ඉදි කර ඇති "බිග් මෑන්" නමින් හදින්වනු ලබන හෙල්ලය අතින් ගත් ආදි වාසී දඩයක්කරුගේ ප්‍රතිමාවයි, කදු මුදුනේ සිටින බිග් මෑන් දෙස බලා සිටිනා අයුරින් ඉදි කරන ලද ආදිවාසී ස්ත්‍රිය සහ ගැහැනු දරුවා කදු පාමුල ඉදි කර ඇත. මෙම බිග් වුමන් තලගොයෙක් බදු සත්වයෙක් දඩයම් කරමින් ඉන්නා අයුරු මෙහි දැක්වේ. පුරාණ කාලයේ ඇබොරිජිනල් පිරිමින් කැලෑවට ගොස් විශාල දඩයම් සිදු කරගෙන එන තුරු ස්ත්‍රීන් සහ දරුවන්, තම වාසස්ථාන අසල,  කුඩා සතුන් දඩයමත්, ආහාරයට ගත හැකි මල්, පළතුරු සහ අල වර්ග සොයාගැනීමත් සිදු කිරීම කර ඇති අතර එය මෙම මූර්තීන් ගෙන් පෙන්නුම් කෙරේ.




තවත් කිලෝමීටර් 150ක දුරක් පැමිණි කල අපගේ ඊලඟ නැවතුම හමුවිය. 1872 වසරේදී ඉදි කරන ලද ඕවර්ලන්ඩ් ටෙලිග්‍රාෆ් ලයින් එක සදහා වූ බැරෝ ක්‍රීක් ටෙලිග්‍රාෆ් ස්ටේෂන් එකෙහි ඇති විශේෂත්වයනම් එය එවන් මධ්‍යස්ථාන 15ක් අතුරින් දැනට ඉතිරිව ඇති එවන් ස්ථාන හතරෙන් එකක් වීමයි. එහි බිත්ති ආදිය මුලින් ඉදි කරන ලද ඒවාම වන අතර වහලය නම් 1941 වසරේදී අලුත්වැඩියා කරන ලද්ද්දකි. කම්මලක්, කුඩා දේවස්ථානයක් සහ අශ්වයන් සදහා වූ ස්ථාලයක් සහ කරත්ත මඩුවක් ආදී ගොඩනැගිලි කීපයම මේ අවට තවමත් දකිය හැකි.




1872 වසරේදී ඕස්ට්‍රේලියාවේ දකුණෙන් පෝර්ට් ඔගස්ටා සිට ඊසාන දිගින් පෝර්ට් ඩග්ලස් දක්වා වූ කිලෝමීටර් 3000ක ගොඩබිම් විදුලි පණිවුඩ මාර්ගය සම්පූර්ණ කල පසු මෝස් සංකේත යොදා ගනිමින් ඉතා ඉක්මනින් පණිවිඩ සංසරණය සිදු කල හැකිව තිබෙන අතර ඊට කලින් එන්ගලන්තයේ සිට සති ගනනාවක් පරණ වී ඕස්ට්‍රේලියාවට පැමිණි පුවත් දැන් ඉතා ඉක්මනින් ලබා ගත හැකි විය. තාක්ෂණය ඉතා දියුණු අද දවසේ හිතුනු වේලාවක ලෝකයේ ඕනෑම ස්තානයකට දුරකථන පනිවිඩයක් ලබාදීම අපට නම් දෙවරක් සිතිය යුත්තක් නොවේ. නමුත් මින් වසර 150කට පෙර මෙම ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු වාසීන් කී දෙකෙක්ට  කොයි තරම් සුභවාදී වෙනසක් සිදු කරන්නට ඇත්ද? 

ඇලිස් ස්ප්‍රින්ග්ස් සිට කිලෝමීටර් 380 ක් උතුරින් පිහිටි වයික්ලිෆ් වෙල් නොහොත් ඕස්ට්‍රේලියාවේ හදුනා නොගත් පියාඹන වස්තූන් පිළිඹද නිල නොවන කේන්ද්‍රස්ථානයේදී(ඕස්ට්රේලියාවේ UFO අගනුවර) රිය නතර කරන විට වඩාත්ම සතුටු උනේ කුඩා දියණියයි.  "UFO දර්ශන කොතරම් සුලභද යත්, ඔබ මුළු රාත්‍රිය පුරාම අවදියෙන් සිටියේ නම්, අරුම පුදුම යමක් දැකීමට ලැබුනාට වඩා කිසිවක් දැකීමට නොලැබුනා නම් පුදුම සහගතයැයි සලකනු ලැබේ". UFO දර්ශන දෙවන ලෝක සංග්‍රාම කාලයේ සිට වයික්ලිෆ් වෙල්හි ජනප්‍රවාදවල කොටසක් වී ඇත. මහ දවාලේ වයික්ලිෆ් වෙල් ගිය අපට නම් අවාසනාවට කුරුමිට්ටන් මුණ නොගැසුනු නමුත් මද විවේකයකින් පසු කුරුමිට්ටෝ සින්දුව මහ හඩින් ගයමින් අප ඉන් නික්ම ආවා.





අප මීලගට ඩෙවිල්ස් මාබල්ස් නොහොත් කාර්ලු කාර්ලු  වෙත පැමිණියා.ටෙනන්ට් ක්‍රීක් සිට කිලෝමීටර 105 ක් දකුණින් පිහිටා ඇති මෙහි යෝධ වටකුරු  ග්‍රැනයිට් ගල් බොහෝ ප්‍රමාණයක් විසිර තියෙනවා. ඕස්ට්‍රේලියාවේ අවුට්බෑක් ප්‍රදේශයේ ජාත්‍යන්තරව පිළිගත් සංකේතයක් බවට පත්ව ඇති ඩෙවිල්ස් මාර්බල්ස් උදේ සහ සවස හිරු එළිය වැටී තද රතු පැහැය ඉස්මතු වන විට ඉතා දර්ශනීයව දිස් වෙනවා. 


ඩෙවිල්ස් මාබල්ස් නොහොත් කාර්ලු කාර්ලු

ඩෙවිල්ස් මාබල්ස් නොහොත් කාර්ලු කාර්ලු

ඩෙවිල්ස් මාබල්ස් නොහොත් කාර්ලු කාර්ලු

ඩෙවිල්ස් මාබල්ස් නොහොත් කාර්ලු කාර්ලු වල දුටු වන මලක්





කාර්ලු කාර්ලු යන ඇබොරිජිනල් වචනයේ තේරුම 'වටකුරු පාෂාණ' යන්නයි. මෙම ස්ථානය දේශීය ආදිවාසීන්ට  සංස්කෘතික හා අධ්‍යාත්මික වශයෙන් වැදගත් වේ. කාර්ලු කාර්ලු නිර්මාණය වූ ආකාරය සම්බන්ධ ජනප්‍රවාදයට අනුව අසළ කන්දකින් පැමිණ එම ප්‍රදේශය හරහා ගමන් කළ යක්ෂ මිනිසා ඇවිදින අතරතුර පිරිමින් පමණක් පැළඳ සිටින සම්ප්‍රදායික සැරසිලි වර්ගයක් වන හිසකෙස් නූල් පටියක් සකස් කළේය. ඔහු නූල් සෑදීමට කොණ්ඩය කරකවමින් සිටියදී, ඔහුගේ කෙස් පොකුරු බිම වැටුනු අතර එම පොකුරු කාර්ලු කාර්ලු හි විශාල රතු ගල් බවට පත්ව ඇත. ආපසු කඳුකරයට යන අතරමගදී ඔහු බිමට කෙළ ගැසුවේය. ඔහුගේ කෙල රක්ෂිතයේ මැද කොටසේ කළුගල් බවට පත් විය. 

මෙය ඇබොරිජිනල් වරුන්ගේ පූජනීය ස්ථානයක් බැවින් එම ගල් මතට නැගිමට අවසර නැති අතරම ඡායාරූප ගත කිරීමට අවසර ඇත්තේ සමහරක් ස්ථාන පමණයි,

හිරු බැසයන හැන්දෑ හෝරාවේ අප ටෙනන්ට් ක්‍රීක් නගරයට පැමිණියා,කදු මුදුනක පිහිටි බිල් ඇලන් ලුක් අවුට් හිදී හිරු බැස යන චමත්කාරය විදගත් අප ඉන් අනතුරුව රාත්‍රී නවාතැන වෙත ගියා,

ටෙනන්ට් ක්‍රීක් වෙත ලගා වෙමින්


බිල් ඇලන් ලුක් අවුට්






No comments:

Post a Comment