Thursday 18 August 2022

උලූරූ මාර්ග චාරිකාව - පළමුවන දිනය

උලූරූ නොහොත් අයර්ස් රොක් යනු ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇති සෑන්ඩ්ස්ටෝන් වර්ගයේ විශාල  පර්වතයකි. 

බ්‍රිස්බේන්හි ශීත කාලයෙහි පාසල් නිවාඩුව ජූනි අවසාන සතියත් ජූලි මුල සතියත් අතර සති දෙකක් ලැබේ. වසර ගනනාවක් සිට අප ආසාවෙන් සිටි උලූරු චාරිකාව සදහා මෙම පාසල් නිවාඩුව යොදා ගැනීමට අප තීරණය කරා. උලූරු නැරඹීමට යන බොහෝ දෙනා ඒ සදහා ගුවන් ගමන් යොදා ගන්න මුත් අප තීරණය කලේ මෙය රෝඩ් ට්‍රිප් එකක් ආකාරයෙන් සිදු කිරීමටයි. එමගින් තවත් ආකර්ෂණ බොහොමයක් දැක බලා ගැනීම අපේ අරමුණ උනා.  කිලෝ මීටර් 8000කට ආසන්න මෙම ගමන දවස් 12ක් පුරා සිදු කරන ආකාරයට සැලසුම් කරා. හැම රාත්‍රියකම නතර වීම සදහා නවාතැන් පළවල් කලින්ම වෙන්කරවා ගැනුනා. හැම දිනයක්ම පාහේ දීර්ඝ ගමනක් සහ නොයෙක් ආකර්ෂණ බලන්නට යොදාගැනුනු නිසා සියල්ල හොදින් සැලසුම් සහගතව සිදු කිරීම අත්‍යාවශ්‍ය උනා. උදාහරණයක් ලෙස මෙම චාරිකාව පුරා ජංගම දුරකථන සංඥාවන් නොමැති , ජනාවාස නොමැති බොහෝ දුර ගෙවන්නට තිබුනු නිසා හැම ආහාර වේලක්ම කලින්ම සැලසුම් කර ගෙදරින් සාදාගෙන යා යුතු ආහාර තීරණය කරගත්තා. එවැනි ආහාර රැගෙන යාම සදහාම අප ජංගම ශීතකරණයක් මිලදී ගත්තා. 

මෙම චාරිකාවෙහි සටහන් ඔබ වෙත ගෙන ඒමට මෙම ලිපි මාලාව යොදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. 

 දෙදහස් විසි දෙකේ ජූනි මස විසි හතර වන දින හිරු උදාවටත් ප්‍රථමයෙන් අපි බොහෝ ආසාවෙන් බලා සිටි මාර්ග චාරිකාව ආරම්භ කරමින් නිවසෙන් පිටත් උනා. පළමු දිනයේ අප ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඔක්ස්ලි සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කෝබාර් වෙත කිලෝමීටර් එක්දහස් හැටක(1060) දුරක් ගමන් කිරීමට සැලසුම් කරගෙන තිබුනි.

උදෑසන ආහාරය මිල්මරන් නගරයේදී ලබාගත් අප දිවා ආහාරය සදහා නිව් සවුත් වේල්සයේ මොරී නගරය දක්වා ධාවනය කලා. එහිදී මද විවේකයක් ලබා ගත් අප  නැවතත් චාරිකාව ආරම්භ කලේ කෝබාර් වෙත ගමන් කිරීමටයි. . 

මග දිගටම විශාල කපු පුළුන් රෝල් පැටවූ ට්‍රක් රථ අප පසු කරමින් ගමන් ගත්  අතර ඒවායෙන් විසිර ගිය  කපු පුළුන් මග දෙපස විසිර තිබුනේ හිම වැටුනු ආකාරයක් මෙනි. වල්ගෙට් හි කපු ගොවිපළක් වෙත ගොස් කපු පුළුන් වගාවක් බලා ගැනීමට ලැබීමත් විශාල කපු රෝල් ලගටම ගොස් බලාගැනීමට ලැබීමත් අප එදින හැන්දෑ යාමයේ ලබාගත් අපූරු අත්දැකීමක් උනා.












නිශායම උදාවෙමින් එද්දී පාර හරහා හිටිහැටියේ දුවනා කැන්ගරුවන් නිසා ගමන මදක් අනතුරුදායක උනා. එහෙයින් එතැන් පටන් ඉතා ප්‍රවේශමෙන් රිය පැදවීම කරනන්ට උනේ කැන්ගරුවකු රියෙහි වැදීම රිය පෙරළී යාමට උනත් හේතු විය හැකි නිසා.

රාත්‍රී 9 පමණ වනවිට අපි ගමනාන්තය වූ කෝබාර් වෙත ලගාවුනා.




No comments:

Post a Comment