Saturday, 20 August 2022

උලූරූ මාර්ග චාරිකාව - හතරවන දිනය

 කාන්තාරය මැද පොළව යට ඉදිවුනු නගරයක් ගැන ඔබ අසා තිබෙනවාද? වසර පුරා මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 සිට 50 දක්වා වෙනස් වන පරිසරයක පොළව යට ඉදිවුනු මෙම නිවාස හැම වෙලෙහිම සෙල්සියස් අංශක 21 සෞම්‍ය තත්වයක  පවතී. පාසැල් ගොස් පැමිණෙන තම දරුව අතට කැණිම් උපකරණ ලබා දී නිවසට තවත් කාමරයක් එකතු කිරීමට ඔවුන් සමග  කැණීම් සිදු කරන දෙමාපියන් මෙම නගරයෙහි වසර කීපයකට පෙර  වාසය කර ඇත.  එපමණක් නොවේ එවැනි  කැණීම අතර තුර ඕපල් ගල් හමුවීමේ වාසනාවත් ඔවුනට තිබේ. නමුත් පසුකාලීනව අසල්වාසීන් එකිනෙකාගේ ගෙවල් තුලට නොදැනම කැනීම් සිදු කර ඇති අතර මෙම අලකලන්චිය නවතා දැමීම සදහා නගර සීමාවේ ගෙවල් තුල කැනීම් සිදු කිරීම මේ වනවිට තහනම් කර ඇත.

මේ සියලු අපූර්වත්වයන් අත්විදින්නට හැකි ලෝකයේ ඕපල් අගනගරය මෙන් හදුන්වන කූබර් පෙඩි  (Coober Peddy) අද අපගේ කිලෝමීටර 540 ක ඈතින් පිහිටි  ගමනාන්තයයි. 

1852 වන විට දකුණු ෆ්ලින්ඩර්ස් කඳු වැටිය පුරා සහ උතුරු ෆ්ලින්ඩර්ස් කඳුවැටිය තුළට එඬේරන්ගේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා හැකිතාක් ගල්ෆ් ප්‍රදේශයට ආසන්නව වරායක් පිහිටුවීමේ අවශ්‍යතාවය පැන නැගී තිබුනි. ඒ අනුව පිහිටුවන ලද නගරය පෝට් ඔගස්ටා ලෙස  නම් කරන ලද්දේ එවකට දකුණු ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් හෙන්රි ෆොක්ස්ගේ බිරිඳ වන ඔගස්ටා ආර්යාව අනුව ය. පැරණි ගොඩනැගිලි හොදින් සංරක්ෂණය කර ඇති පොර්ට් ඔගස්ටා සුන්දර නගරයකි.

උදෑසන ආහරය නවාතැන් පොළෙහිදීම ලබා ගත් අපගේ එදින පළමු නැවතුම වූයේ පෝට්  ඔගස්ටා නගරයට ආසන්නයේ පිහිටි නැරඹුම් කුළුණකි(water tower lookout) 1882 වසරේදී ඉදිවුනු මෙම කුළුණ, නගරයට අවශ්‍ය ජලසම්පාදනය කිරීම සදහා යොදා ගත් විශාල ජල ටැන්කියකින් යුතු විය. පසුකලෙක එය නැරඹුම් කුළුණක් බවට පරිවර්තනය කර ඇත්තේ එහි මුදුනට නැගුන විට පෝට්  ඔගස්ටා වටා අංශක 360ක සුන්දර දර්ශනයක් ලබා දෙන ස්ථානයක පිහිටි නිසාය. මෙම කුළුණේ මුදුනේ ඇති බැල්කනියේ සිට නගරය, ස්පෙන්සර් ගල්ෆ් සහ  ෆ්ලින්ඩර් කඳුවැටියේ විශිෂ්ට දර්ශන භුක්ති විඳිය හැකිය. දකුණු ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේදී සාගරය රට ඇතුළට වැදුනු බොක්ක  ස්පෙන්සර් ගල්ෆ් යනුවෙන් හදුන්වනු ලැබේ. 




මීලගට අප පෝට්  ඔගස්ටා නගරය හරහා මැතිව් ෆ්ලින්ඩර්ස් නැරඹුම් සථානය(Matthew Flinders lookout) කරා රිය ධාවනය කලා. ඕස්ට්‍රේලියානු ඇරිඩ් ලෑන්ඩ් උද්භිද උද්‍යානයේ(Arid Lands Botanic Gardens) කොටසක් වන මෙම ස්ථානය, පෝට් ඔගස්ටා සහ ඒ අවට ප්‍රදේශය මෙන්ම ෆ්ලින්ඩර්ස් කදු වැටියද ස්පෙන්සර් ගල්ෆ් සහ නගරයට පැමිණෙන දුම් රිය නිරීක්ෂණය කිරීමටද හැකි අතිශය සුන්දර ස්වභාවික ආකර්ෂණයකි. 






එතැනනි නික්මුනු පසු අප දිගටම රිය පදවූයේ නේක වර්ණයන්ගෙන් දිස්වන ශේෂ කදු බොහොමයක් පසු කරමින්.





කූබර් පෙඩි සහ පෝට් ඔගස්ටා අතර ස්ටුවර්ට් අධිවේගී මාර්ගයට ඔබ්බෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති හාර්ට් විල අපගේ ගමනේ ඊළඟ නැවතුමයි.  මෙම විලෙහි අලංකාර ලුණු ස්පඨික දිලිසෙන අයුරු දැකීමට ලස්සන දසුනක්.  



මේ වනවිට අප පෝට් ඔගස්ටා සිට කිලෝමීටර 180ක පමණ දුරක් පැමිණ තිබුනා, එය දිනයේ මුළු දුරින් තුනෙන් එකක් පමණ.

බොහොමයක් දුරට කිසිම ජනාවාසයක් නොමැති, දුරකථන සංඥා නැති පාලු ප්‍රදේශ කිලෝමීට සිය ගානක් පුරාවට විහිදී තිබුනා. ඉදහිට පසුවන අනෙකුත් සංචාරකයන් මිස පාරේ කිසිවෙකුත් දකින්නට හිටියේ නැහැ, මෙවැනි ගමන් එන විට කල් ඇතුවම වාහන සදහා ඉන්ධන ලබාගෙන ඒම අනිවාර්යයයි.

අප සිංහල සිංදු විශාල ප්‍රමාණයක් භාගත කරගෙන පැමිණි සිටි හෙයින් මග දිගට ලයාන්විත සංගීතයත් නිමක් නොපෙනෙනා පාරිසරික සුන්දරත්වත් විදිමින් දහවල් එක  පමණ වන විට කූබර් පෙඩි සීමාවට පැමිණියා.

නගරයට පිළිගන්නා පුවරුව ඕපල කැණීම් සදහා යොදා ගන්නා වාහනයක් ආකාරයෙන් නිමවා තිබුනා. ඕපල් යනු මැණික් වැනි ඛණිජ පාෂාණයකි. ලන්කාවේ රත්නපුර ප්‍රදේශය මැණික් සදහා ප්‍රසිද්ධව පවතිනවා මෙන් කූබර් පෙඩි ඕපල් සදහා ලෝක ප්‍රසිද්ධ වේ.




අප එදින දිවා ආහාරය ලබා ගත්තේ කූබර් පෙඩි වලදී. කුඩා නගරයේ ඕපල් ආභරණ සැල් කීපයක්ම පිහිටා ඇති අතර, දිවා ආහාරයෙන් පසු අප ඒවා යේ ඇවිද ගිය අතර ඕපල් ගැන නොයෙක් තොරතුරු කීමට කඩ හිමියන් බොහොම කැමැත්තෙන් ඉදිරිපත් උනා. 

ඉන්පසු කලින් වෙන්කරවා ගත් උමූනා ඕපල් කෞතුකාගාර සන්චාරයෙහි යෙදීමට අවස්ථාව ලැබුනා. එහිදී කූබර් පෙඩි සහ ඕපල් වල අතීත කරුණු ඇතුළත් කර නිපදවූ කෙටි චිත්‍රපටියක් මුලින්ම නරඹන්නට ලැබුනා. 1915 වසරේදී මෙම ප්‍රදේශයේ රත්තරන් නිධි සොයමින් ආ ඉන්ග්‍රීසි ජාතික කණ්ඩායමක් තමන් ගෙන ආ වතුර ඉවර වීම නිසා බොහෝ අපහසුතාවයන්ට මුහුණ දුන්න. වතුර යනු කූබර් පෙඩි ප්‍රදේශයෙ විශාල ගැටළුවක් වන්නේ එය කාන්තාර ප්‍රදේශයක් වීම නිසා.  ඉතින් මෙම කණ්ඩායම පහළොස් වියැති විලියම් හචින්සන්ට කඳවුර බලාගැනීම පවරා වතුර සොයා යනවා. ඔවුන් නැවත් පැමිණෙන විට ගිනි මැලය නිවී ගොස් තිබූ අතර කිසිවකුත් කදවුරෙහි නොහිටි නිසා විලියම් හචින්සන් කෙරෙහි කෝප වී සිටිද්දී පහළොස් වි‍යති මානවකයා ආපසු කදවුරට පැමිණ ඇත්තේ වතුරත් ඕපලුත් දෙකම සොයා ගෙනයි. මීට ප්‍රථමයෙන් මෙම ප්‍රදේශවල ජීවත් වූ ආදිවාසීහු ඕපල් දැක තිබුනත්, භෞතික වස්තූන් කෙරෙහි තැකීමක් නැති  ඔවුන්ට ඒවායේ අගයක් තිබී නැහැ. 

එයින් පසු පැරණි පතල්, දෝනා තුල ගමන් කරමින් ඒ කාලයේ පතල් කරුවන් පොළව යට ජීවත් වූ පැරණි පතල් නැරඹීමටත් සැබෑ ඕපල් නිධියක් බලාගැනීමටත් අපට අවස්ථාව උදාඋනා. පොළව යට සිදු කල ඒ සන්චාරය ඉතා සුවිශේෂයි.

ඉන්පසු කෞතුකාගාරයෙහි ඇති වසර මිලියන ගනනක් පැරණි සත්ව අවශේෂ ඇතුළත් ෆොසිල කාමරය, කැණීම් සදහා යොදාගත් පැරණි උපකරණ සහ ආභරණ අලෙවි සැලෙහි ප්‍රදර්ශනය කර තිබූ  ඕපල් ආභරණ ආදියත් අප දැක බලා ගත්තා.









රෑ අඳුර වැටී ගෙන එද්දී අප එදින රැය ගත කිරීමට වෙන් කරවා ගෙන තිබුනු පොළව යට අපාර්ට්මන්ට් එක කරා ගියා. එය නම් සුවිශේෂී අත්දැකීමක්ම උනා. වසර මිලියන 150 කට පෙර මුහුදට යටව තිබුන මෙම කූබර් පෙඩි ප්‍රදේශයේ වතුර බැස යාමත් සමගම ගල් අතර හිරවූ සිලිකා වැලි කාලයත් සමගම ඕපල් බවට පත්ව තිබෙනවා. මෙම විශ්මිත කරුණු සිහි කරමින් ඒ අසාමාන්‍ය හෝටලයේ අපි රාත්‍රිය ගත කරා. 

මෙම නගරයේ ජනගහනයෙන් 60%ක් තාම ජීවත් වෙන්නේ පොළව යට ගෙවල්වල වන අතර වැඩි ප්‍රමාණයක් හෝටල් තියෙන්නේත් පොළව යට. 






Friday, 19 August 2022

උලූරූ මාර්ග චාරිකාව - තෙවන දිනය

 අද අපේ ගමනේ තුන්වන දිනයයි. කිලෝ මීටර් 624ක් මග ගෙවා ගෙන  බ්‍රෝකන් හිල්ස් සිට ෆ්ලින්ඩර්ස් කදු වැටිය හරහා පෝර්ට් ඔගස්ටා වෙත යන දවස. 

ජාතික උරුම ලැයිස්තුවට ඇතුළත් කළ පළමු ඕස්ට්‍රේලියානු නගරයවන බ්‍රෝකන් හිල්ස්,  රිදී, ඊයම් සහ සින්ක් කැණීම් සදහා ප්‍රසිද්ධ වූ නගරයකි.

උදෑසන ආහාරය කලින්ම ලබා ගත් අප බ්‍රෝකන් හිල්ස් සිට කිලෝමීටර් 12 ක් දුරින් පිහිටා ඇති සජීවී කාන්තාර මූර්ති උද්‍යානය(Living Desert State Park) වෙත ගියා. 1993 වසරේදී විල්කානියා සිට ගෙන එන ලද අති විශාල සෑන්ඩ්ස්ටෝන් යොදාගනිමින් ලොව පුරා විවිධ නගර වලින් එක් රැස් වුන දක්ෂ මූර්ති ශිල්පීන් දොළොස් දෙනෙකු  විසින් මෙම මූර්ති නිර්මාණයන් සිදු කොට තිබෙනවා. උදෑසන හිරු කිරණ මහ පොළව සිප ගනිමින් එම මූර්ති රන්වන් පැහයෙන් ආලෝක කරන අයුරු ඉතාමත් මනරම් දර්ශනයක් වුනා. 







හෙක්ටයාර 2400ක භූමි ප්‍රදේශයක පැතිර පවත්නා ශාක සහ සත්ව අභය භූමියක් මෙම මූර්ති උද්‍යානය වටා පැතිර පවතින අතර එයද ඉතාමත් මන්ස්කාන්ත දසුන් මවා පෑවා.




අකමැත්තෙන් උනත් අප එම සුන්දර ස්ථානයෙන් පිටවී දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දිශාවට රිය ධාවනය කරා. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළත් වීමේදී අප සතුව පැවති පළතුරු සියල්ල ඉවතලීමට නිරෝධායාන මධ්‍යස්ථානයේදී උපදෙස් ලැබුනා. දකුණු ඕස්ට්‍රේලියාව විශාල වශයෙන් එළවළු සහ පළතුරු නිශ්පාදනය කරන නිසා මෙම සීමා කිරීම් සිදු කරනු ලබනවා.



අතරින් පතර කාලයකට කලින් අතහැර දමන ලද නිවාස ආදිය ගරා වැටී තිබෙනු දැකිය හැකි මුත්, මිනිස් ජනාවාස නම් තිබුනේම නැති තරම්






ෆ්ලින්ඩර්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ,  ඇඩිලේඩ් සිට කිලෝමීටර් 246 ක් උතුරින් පිහිටා ඇති ඓතිහාසික දුම්රිය නගරයක් වන පීටර්බරෝ අපේ දිවා නැවතුම් පල උනා. එහි ප්‍රධාන සංචාරක ආකර්ෂණය වන්නේ "ස්ටීම්ටවුන්" හෙරිටේජ් දුම්රිය මධ්‍යස්ථානයයි.



රසවත් දිවා ආහාරයකින් පසු අප ෆ්ලින්ඩර්ස් කදු වැටිය කරා නික්මුනා. ඉර බැස යන වෙලේ රත් පැහැයට හුරු අමුතුම වර්ණාවලියකින් හැඩ උන ෆ්ලින්ඩර්ස් කදු වැටිය අපේ ගමනට තවත් නොමැකෙන මතක සටහනක් එක් කලා.  එම කදු පන්තිය පුරා ඒ මේ අත පැන යන කැන්ගරුවන්ගෙන් අඩුවක් තිබුනේ නැහැ.

බ්‍රිතාන්‍ය නාවිකයෙකු සහ සිතියම් ශිල්පියෙකු වූ, ඕස්ට්‍රේලියානු භූමිය ගවේෂණය කිරීමෙහි ලා මූලික වුනු, කපිතාන් මැතිව් ෆ්ලින්ඩර්ස් වෙනුවෙන් නම් කර ඇති මෙම කදු වැටිය දකුණු ඕස්ට්‍රේලියාවෙහි ඇති විශාලතම කදු පන්තියයි. රෙඩ් හිල් ලුකවුට් නම් ස්ථානයේ සිට ෆ්ලින්ඩර්ස් කදු වැටිය පසුබිමින් හිරු බැස යන අපූර්ව දර්ශනය නරඹමින්  අප ගත කල ඒ සැදෑ හෝරාව අතිශය ආනන්දජනක අත්දැකීමක් උනා.








එතැන් සිට කිලෝමීටර් 150ක දුරක් ගෙවමින් අප පෝර්ට් ඔගස්ටා නගරය වෙත පැමිණියේ රෑ කළුවර අතරිනුයි.



Thursday, 18 August 2022

උලූරූ මාර්ග චාරිකාව - දෙවන දිනය

කෝබාර් යනු වසර සියයකටත් වඩා පැරණි පතල් නගරයකි. කෝබාර් පිහිටා ඇත්තේ සිඩ්නි සිට වයඹ දෙසින් කිලෝමීටර් 690 ක් දුරිනි. 

දෙවන දිනයේ අපගේ පළමු නැවතුම වූයේ කෝබාර්හි  ෆෝර්ට් බෝර්ක් රන් සහ තඹ පතලයි. ඕපන් කට් මයිනින්ග් ආකාරයට කැණීම් සිදු කරන මෙම පතල දැනට ක්‍රියාත්මක වන එකකි. පතල මුදුනෙහි ආරක්ෂාකාරී වැටකින් යුතු නැරඹුම් වේදිකාවක් ඉදි කර ඇත්තේ එහි සිට පහළ පතල හොදින් නිරීක්ෂණය කර හැකි අයුරිනි.මීටර් 150 ක් ගැඹුරු පතුලෙහි සිට විශාල ට්‍රක් රථ හිමින් හිමින් පතල උඩට පැමිණෙන්නේ කැණීම් උපකරණ පටවාගෙනයි.





එයින් පසු අප කෝබාර් නගරයට නැවත පැමිණ නගරයෙහි සකසා තිබූ පැරණි පතල් කැණීම් උපකරණ, වාහන ආදිය ඇතුළත් කෝබාර් හෙරිටේජ් වෝල්ක් එක නැරඹුවා. කෝබාර්හි ඉදිකර ඇති කාර්මික නගර  ද්වාරයද විශේෂයි.







කෝබාර් නගරයෙහිදී දිවා ආහාරය ලබාගත් අපේ මීළග නැවතුම වූයේ මවුන්ට් ග්‍රෙන්ෆෙල් ජාතික වනෝද්‍යානයයි. කෝබාර් සිට විල්කෑනියා වෙත යන ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර හැටහයක ඉතාමත් පාළු සහ දුෂ්කර බොරළු මාර්ගයක කෙළවර මෙම වනෝද්‍යානය පිහිටා තිබෙනවා. . එළුවන්, බැටළුවන් සහ කන්ගරුවන් සුලභ වශයෙන්  පාර හරහා දුවන නිසා ප්‍රවේශමෙන් රිය පැදවිය යුතු උනා.






වසර දස දහස් ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියානු ආදී වාසී ඇබොරිජිනල් මිනිසුන් වාසය කළ ග්‍රෙන්ෆෙල් කන්දෙහි ඕස්ට්‍රේලියාවේ පාෂාණ චිත්‍ර(rock arts) කලාව පිළිබඳ හොඳම උදාහරණ ඇත. ප්‍රධාන වශන්යෙන් මෙම රූප සටහන් ගුහා තුනක විසිර ඇති අතර ඒවායේ මිනිසුන්, කැන්ගරුවන්, කුරුල්ලන් සහ වෙනත් සත්ව රූප ඇතුළුව වර්ණවත් රූප 1,300කට වඩා අඩංගු වේ. මිනිස් වාසස්ථානයෙන් දුරස්ථ වූ මෙම ස්වාභාවික පරිසරය තුළ අප ගත කල පැය කිහිපය ඉතාමත් රසවත් උනා.








නැවත එම බොරළු මාර්ගය දිගේ ප්‍රධාන පාරට පැමිණි අප විල්කෑනියා දෙසට රිය ධාවනය කලා.  




විල්කෑනියා පාලම අපගේ මීළඟ නැවතුමයි. 



විල්කෑනියාවේ ඩාර්ලිං ගඟ හරහා 1896දී ඉදි කරන ලද පාලම මධ්‍ය-එසවුම් (centre lift) ඉදිකිරීමකි. ගඟ හරහා ගමන් කරනා වාෂ්ප බෝට්ටු ඉතා උස නම් ඒවාට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සලසන පරිදි එසවිය හැකි ආකාරයෙන් මෙම පාලම ඉදි කර තිබෙනවා.විල්කෑනියා නගරයේ සිත්ගන්නාසුලු ඓතිහාසික ගොඩනැගිලි නරඹමින් අප රාත්‍රිය වනවිට බ්‍රෝකන් හිල්ස් නගරය වෙත කිලොඅමීටර් 475ක ගමන නිමා කලා.





උලූරූ මාර්ග චාරිකාව - පළමුවන දිනය

උලූරූ නොහොත් අයර්ස් රොක් යනු ඕස්ට්‍රේලියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇති සෑන්ඩ්ස්ටෝන් වර්ගයේ විශාල  පර්වතයකි. 

බ්‍රිස්බේන්හි ශීත කාලයෙහි පාසල් නිවාඩුව ජූනි අවසාන සතියත් ජූලි මුල සතියත් අතර සති දෙකක් ලැබේ. වසර ගනනාවක් සිට අප ආසාවෙන් සිටි උලූරු චාරිකාව සදහා මෙම පාසල් නිවාඩුව යොදා ගැනීමට අප තීරණය කරා. උලූරු නැරඹීමට යන බොහෝ දෙනා ඒ සදහා ගුවන් ගමන් යොදා ගන්න මුත් අප තීරණය කලේ මෙය රෝඩ් ට්‍රිප් එකක් ආකාරයෙන් සිදු කිරීමටයි. එමගින් තවත් ආකර්ෂණ බොහොමයක් දැක බලා ගැනීම අපේ අරමුණ උනා.  කිලෝ මීටර් 8000කට ආසන්න මෙම ගමන දවස් 12ක් පුරා සිදු කරන ආකාරයට සැලසුම් කරා. හැම රාත්‍රියකම නතර වීම සදහා නවාතැන් පළවල් කලින්ම වෙන්කරවා ගැනුනා. හැම දිනයක්ම පාහේ දීර්ඝ ගමනක් සහ නොයෙක් ආකර්ෂණ බලන්නට යොදාගැනුනු නිසා සියල්ල හොදින් සැලසුම් සහගතව සිදු කිරීම අත්‍යාවශ්‍ය උනා. උදාහරණයක් ලෙස මෙම චාරිකාව පුරා ජංගම දුරකථන සංඥාවන් නොමැති , ජනාවාස නොමැති බොහෝ දුර ගෙවන්නට තිබුනු නිසා හැම ආහාර වේලක්ම කලින්ම සැලසුම් කර ගෙදරින් සාදාගෙන යා යුතු ආහාර තීරණය කරගත්තා. එවැනි ආහාර රැගෙන යාම සදහාම අප ජංගම ශීතකරණයක් මිලදී ගත්තා. 

මෙම චාරිකාවෙහි සටහන් ඔබ වෙත ගෙන ඒමට මෙම ලිපි මාලාව යොදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. 

 දෙදහස් විසි දෙකේ ජූනි මස විසි හතර වන දින හිරු උදාවටත් ප්‍රථමයෙන් අපි බොහෝ ආසාවෙන් බලා සිටි මාර්ග චාරිකාව ආරම්භ කරමින් නිවසෙන් පිටත් උනා. පළමු දිනයේ අප ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඔක්ස්ලි සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කෝබාර් වෙත කිලෝමීටර් එක්දහස් හැටක(1060) දුරක් ගමන් කිරීමට සැලසුම් කරගෙන තිබුනි.

උදෑසන ආහාරය මිල්මරන් නගරයේදී ලබාගත් අප දිවා ආහාරය සදහා නිව් සවුත් වේල්සයේ මොරී නගරය දක්වා ධාවනය කලා. එහිදී මද විවේකයක් ලබා ගත් අප  නැවතත් චාරිකාව ආරම්භ කලේ කෝබාර් වෙත ගමන් කිරීමටයි. . 

මග දිගටම විශාල කපු පුළුන් රෝල් පැටවූ ට්‍රක් රථ අප පසු කරමින් ගමන් ගත්  අතර ඒවායෙන් විසිර ගිය  කපු පුළුන් මග දෙපස විසිර තිබුනේ හිම වැටුනු ආකාරයක් මෙනි. වල්ගෙට් හි කපු ගොවිපළක් වෙත ගොස් කපු පුළුන් වගාවක් බලා ගැනීමට ලැබීමත් විශාල කපු රෝල් ලගටම ගොස් බලාගැනීමට ලැබීමත් අප එදින හැන්දෑ යාමයේ ලබාගත් අපූරු අත්දැකීමක් උනා.












නිශායම උදාවෙමින් එද්දී පාර හරහා හිටිහැටියේ දුවනා කැන්ගරුවන් නිසා ගමන මදක් අනතුරුදායක උනා. එහෙයින් එතැන් පටන් ඉතා ප්‍රවේශමෙන් රිය පැදවීම කරනන්ට උනේ කැන්ගරුවකු රියෙහි වැදීම රිය පෙරළී යාමට උනත් හේතු විය හැකි නිසා.

රාත්‍රී 9 පමණ වනවිට අපි ගමනාන්තය වූ කෝබාර් වෙත ලගාවුනා.




Wednesday, 9 June 2021

Are you OK?



 සැප්තැම්බර් මාසයේ 9 වනදා  ඕස්ට්‍රේලියාවේ Are you Ok" දිනය සැමරිනි. මා රැකියාව සිදු කරන ආයතනය ඒ දිනය උද්‍යෝගයෙන් සමරා මානසික සෞඛ්‍යය නිමිත්තෙන් කටයුතු කරන ආයතන කීපයකට මූල්‍යාධාරද ලබා දෙයි.  ඊට අමතරව දින බාග නිවාඩු දෙකක් සියල්ලන්ටම  ලබා දුන්නේ සේවකයන්ගේ මානසික සුවතාවය නංවාලීම ඔවුන් නිරන්තරයෙන් වැදගත් කොට සලකන නිසා. ඊයේ දිනයේ මම එයින් එක් නිවාඩුවක් ලබා ගත්තා . නිවසේ සිට විනාඩි 14 දුරින් පිහිටි දියණියගේ පාසල අවසානයේ ඇය රැගෙන ඒමට මට යෑමට ලැබෙන්නේ ඉතා කලාතුරකින් . ඉදහිට මා ගිය දිනයට දියණිය ඉතා සතුටට පත් වන නිසා මා එය ඉතා ලෝභ කමින් ආසාවෙන් කරන්නට කැමති වැඩකි. ඉතින් ඊයේ දිවා ආහාරය ගනිමින් netflix  ඔස්සේ මා ප්‍රිය කරන චිත්‍රපටයක්ද නරඹා(මානසික සුවතාවය වර්ධනය කරගන්නත් එපාය ඒකටම නිවාඩුවක් දුන්නම) මා ඇය ගෙන ඒමට පිටත් උනෙමි. පාසලට මදක් ආසන්නයේ traffic light එකක රිය නවතාගෙන මම ඉදිරියෙන් සහ පසුපසින් ඇති වාහන දෙස බලමින් උන්නෙමි. එවිටයි ඈතින් මහහඩ නගාගෙන ගිලන් රථයක් පැමිණියේ . සියලු වාහන කවුරුන් හෝ අණ දුන්නා මෙන් වහ වහා දෙපසට වෙමින් මැදින් ගිලන් රථයට ගමන් කරන්න ඉඩ සලසා දුන්නේ එකාවන්ව . එවිට රතු එලිය කොල පැහැයට හැරුනත් කිසිකෙනෙක් සං .ාව වෙනස් වෙන්නට කලින් යන්නට ඉක්මන් නොවුනු අතර ගිලන් රථය එම පෙදෙස පසුකර යනතුරු ඉතාම සන්යමයෙන් ඉවසා සිටියා. 

එවැනි සිදුවීම්  ඕස්ට්‍රේලියාව ගැන මගේ පැහැදීම වැඩි කරනවා. 

මේ දිනවල කොරෝනා තත්ත්වය නිසා පාසල අසල කිසිම දෙමාපියෙකුට වාහනයෙන් නොබසින ලෙස උපදෙස් දී තිබෙනවා. වාහනය ඉදිරිපිට විශාල අකුරෙන් වාසගම ප්‍රදර්ශනය කල යුතුයි. එවිට ගුරුවරුන් අදාළ දරුවන් වාහන වෙත යොමුකර ඔවුන්ම  දොර ඇර ලමයින් ආරක්ශාකාරී ලෙස වාහන වලට ඇතුල් කරනවා.  ඊයේ මගේ දුව සිටින ගේට්ටුව අසලට මා පැමිණී විට ඇය රැගෙන විත් ඇතුලට දමා සුභ සතිඅන්තයක්ද ප්‍රාර්ථනා කලේ සුන්දර සිනහවකින් මුව සරසා ගත් ඇගේ පාසලේ විදුහල්පතිනිය. ළමයින් 800 ආසන්නයේ ඉගෙනුම ලබන මෙම පාසලේ ගුරුවරුන් මෙම ක්‍රියාවලිය මැයි 25 කොරෝනා වලින් පසු පාසල පටන් ගත් දිනයේ සිට ඉතා හොදින් සිදු කරනවා.

අම්මා තමා රැගෙන යාමට පැමිණීම නිසා අතිශය සතුටට පත්ව සිටි දියනියගේ තොරතෝංචියක් නැති කතා අසමින්  මා යලි නිවසට පැමිණියේ මෙවැනි සතුටක් ලබා දුන් රැකියා ආයතනයටද සිතින් ස්තූති කරමින්. 

අප සැවොම අපේ මානසික සමබරතාව රැක ගැනීමට කැපවන අතරම අප අවට වෙසෙන්නන්ගේ මානසික සුවතාවය වැදගත් කොට සලකමු .