Thursday 17 October 2019

නවසීලන්ත චාරික සටහන් 7 - ටිඅනාවු සිට ඩනෙඩින් වෙත පැමිණීම සහ ලනාක් මන්දිරය නැරඹීම

මෙදින අප නවසීලන්ත දකුණු දිවයිනේ නිරිතදිග ටිඅනාවු(Te Anau) නගරයේ සිට ගිණිකොණ දිග ඩනෙඩින්(Dunedin) නගරය කරා කිලෝමීටර් 290 ගමන් කිරීමට නියමිත දිනය.
ටිඅනාවු නගරය පසු කර පැය බාගයක් යන විට හිම පතනය වෙනවා දුටු අප සැම අමන්දානන්දයට පත් වුනා. මෙයින් පසු හිම වැටෙන ප්‍රදේශ නැවතත් දකින්නට නොලැබෙන බව දන්නා නිසා හිමෙන් වැසුනු කුඩා කැලෑ රොදක හිම සෙල්ලම් කරන්නට අප අමතක කලේ නැහැ.
ගමනෙන් අඩක් පමණ ගත කර විට හමුවුණු ගෝර්(Gore) නගරය අපගේ ඊලග නැවතුමයි. ට්‍රවුට් මාළුවන් ඇල්ලීමට ප්‍රචලිත මෙම නගරයේ මටවුරා නදිය අසල ඉදිකෙරී තිබෙන අතර නවසීලන්තයේ පැරනි ආණ්ඩුකාරවරයෙක් වෙනුවෙන් නම් කර තිබෙනවා.
හවස 2 පමණ වනවිට ඩනෙඩින් නගරයට පැමිනි අපේ ඉලක්කය වූයේ නවසීලන්තයේ පිහිටි එකම castle එක ලෙස සලකන ලානාක් මන්දිරය නැරඹීමය.
එකල ධන කුවේරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වූ විලියම් ලානාක් සිය පළමු බිරිඳ වෙනුවෙන් ඉදිකරනු ලැබූ මෙම මන්දිරය 1871 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර 1874 වසර වනවිට සම්පුර්ණයෙන් නිමවා අවසන් කර ඇත. ඔටාගෝ අර්ධද්වීපයේ සුන්දර බිම් කඩක පිහිටි මේ වටා බැදුනු නොයෙකුත් රසවත් සිදුවීම එහිදි අසා දැනගන්නට පුලුවන්.
අක්කර 35 වඩා වැඩි බිම් කඩක කාමර 43ක්, විශාල නර්ථන ශාලාවක්, සංගීත කාමරයක් ආදිය ඇතුලත් මෙම සුන්දර මන්දිරය පිහිටි වතුයාය විලියම් සිය දෙටු පුතු හා දඩයම් සවාරියක් යනවිට අහම්බෙන් දැක පැහැදී බ්‍රිතාන්‍ය කිරුළෙන් මිලදි ගෙන ඇත.
කොතරම් මිල මුදල් සැප සම්පත් සමග ජීවත් වූවත් ජීවිතයේ අවසාන කාලය විලියම් ලානාක් ගත කර ඇත්තේ විශාල කරදර ප්‍රමාණයක් සමග.ඔහුට වඩා වසර විස්සකින් පමණ බාල ඔහුගේ තුන්වැනි බිරිඳ සහ පලමු විවාහයේ පුතු අතර අනියම් ඇසුර, දෙවන බිරිඳ මිය යාම සමග ඇතිවූ දේපළ ගැටලු සහ ව්‍යාපාර අලාභ ආදියෙන් කලකිරීමට පත් වූ විලියම් 1898 ඔක්තෝබර් මාසයේ දිනයක නවසීලන්තය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුලදී සිය දිවි හානි කර ගෙන ඇත.
ඔහුගේ මරණයත් සමග දරුවන් අතර දේපළ සදහා බොහෝ වියවුල් හටගෙන තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලෙස ලානාක් මන්දිරය 1906 වසරේදී විකුණා දමා තිබෙනවා. මින් අනතුරුව වසර ගනනාවක් විවිධ හිමිකරුවන් අතින් අතට පත් වූ ලානාක් මන්දිරය ගරා වැටිමින් තිබියදී මිලදි ගත් වත්මන් හිමිකරුවන් විසින් පෙර ගාම්භීර ස්වභාවයටම නඩත්තු කරමින් මහජන ප්‍රදර්ශනය සදහා පවත්වාගෙන යනවා. මන්දිරය වටා පිහිටි උද්‍යානය නවසීලන්තයේ පිහිටි ජාත්‍යන්තර තත්ත්වයේ උද්යාන කිහිපය අතුරින් එකක් ලෙස සැලකෙනවා.
මම නම් සම්පූර්ණ මන්දිරයම දෙසැරයක් ගවේෂණය කලේ මගේ අතීතකාමය නිසා. පැරණි ගෘහ භාණ්ඩ, පියානෝ බදු සංගීත භාණ්ඩ, පිගන් කෝප්ප කට්ටල, කුස්සියේ නොයෙකුත් උපකරණ අදී නොයෙක් භාණ්ඩ පමණක් නොව විලියම්ගේ තුන්වන බිරිද සිය විවාහ උත්සවයට ඇදි ගවුම, මැහුම් ගෙතුම් කට්ටල අදියත් මෙහි ප්‍රදර්ශනය කර තිබෙනවා
මන්දිරයේ මුදුනටම නැගීමට ඇති ඉතා පටු පඩි පේළිය අමාරුවෙන් නැගගත් අප එකල විලියම් සිය නෞකාවන්ට පනිවිඩ දීමට යොදා ගත් කොඩි ගසත් ඉතා සුන්දර මන්දිරය වටා පරිසරයත් දැක බලා ගත්තා.


මග දෙපස සුන්දර දසුන්

ගෝර් නගරය


ලානාක් මන්දිරය




විලියම් සිය තුනවන විවාහයේදී ලද තෑග්ගක්

විලියම් සිය තුනවන විවාහයේදී ලද තෑග්ගක්

එකල වික්ටෝරියා මහ රැජින ප්‍රමුඛ ධනවතුන් අතර බොහෝ ප්‍රසිද්දව තිබූ සැරසිල්ලක්




විලියම්ගේ තුන්වන බිරිද පෞද්ගලිකව පරිහරණය කරන ලද භාන්ඩ

විලියම්ගේ තුන්වන බිරිද සිය විවාහ උත්සවයට ඇදි ගවුම

විලියම්ගේ තුන්වන බිරිද පෞද්ගලිකව පරිහරණය කරන ලද භාන්ඩ

















2 comments:

  1. ඔබගේ කථාවේ කොටස් කිහිපයක් කියෙව්වා. පරණ මතක කිහිපයක් අළුත්වුණා. 1999 වසරේ මමත් නවසීලන්තයේ දකුණු දිවයිනේ සුමාන දෙකක් ඔයවගේ ඇවිද්දා. ඩනීඩන් නගරය යම්කිසි හේතුවක් උඩ මටත් ආසා හිතුනා. විශේෂයෙන්ම එහි ඇති විශාල, පැරණි ගොඩ නැඟිලි නිසා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කොමෙන්ට් එකට, හරිම සතුටක් දැනුනා. ඉතිරි කොටස් ටිකත් කියවන්න, දැන් කොටස් නමයම දාලා තියෙන්නෙ. සන්චාරයට ඉතාම සුදුසු ප්‍රදේශයක් නේද නවසීලන්ත දකුණු දිවයින?

      Delete