Tuesday 15 October 2019

නවසීලන්ත චාරික සටහන් -6 Milford Sound

2008 වසරේදී ලොව ජනප්‍රිම සංචාරක ගමනාන්තය ලෙසත් දැනටත් නවසීලන්තයේ ජනප්‍රියම සංචාරක ගමනාන්තය ලෙසත් පිළිගන්නා මන්ස්කාන්ත මිල්ෆර්ඩ් සවුන්ඩ් නැරඹීම අද දවසේ අපගේ සැලසුමයි. නිරිතදිග නවසීලන්තයේ ෆියෝර්ඩ්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානයේ එක කෙලවරක පිහිටි මෙය, සොබාදහමේ අති සුන්දරම දායදයක්. අප නවසීලන්තයට ගොඩ බැසූ දවසේ සිට මේ දක්වාම මිල්ෆර්ඩ් සවුන්ඩ් වෙත යෑමට ඇති මාර්ගය අනතුරුදායක බව නිසා වසා දමා තිබුනා. අප ඊයේ දිනයේත් අදාළ වෙබ් අඩවිය බොහෝ සැරයක් පරීක්ශා කලේ මෙම මාර්ගය අද දිනයේ ගමනාගමනය සදහා සුදුසු ලෙස ප්‍රකාශ කර ඇතිදැයි දැන ගැනීමට. අතිශය හුදෙකලා ප්‍රදේශයක පිහිටි මිල්ෆර්ඩ් සවුන්ඩ් කරා පිවිසීමට ඇත්තේ මෙම එකම එක මාර්ගය පමණකි.දීර්ඝකාලීනව ග්ලැසියර දිය වී ගොස් මුහුදු ජලය එම හිඩැස පිරවීම නිසා මුහුදට සම්බන්ධව නිමැවූ පටු බෑවුම් සහිත භූවිෂමතාවයක්( fiord) මිල්ෆර්ඩ් සවුන්ඩ්හි දැක ගත හැකියි.ස්වභාව ධර්මයේ සුන්දරත්වය පරිපූර්ණ මෙම ස්තානයට පැමින එහි දිය මත කෲස් බෝට්ටු සවාරියක් යෑමට අවශ්‍ය අවසර පත් අප මිලදි ගත්තේ මාස ගණනාවකට ප්‍රථමයෙන්.
ඊයේ රාත්‍රියේ අද දිනය ගැන අවිනිශ්චිත තත්වයෙන් නින්දට පිවිසියත්,උදෑසන පිබිදී නැවතත් මාර්ගයේ තත්ත්වය පරීක්ෂා කල විට අප අමන්දානන්දයට පත් කරමින් දින ගනනාවකට පසුව අද මිල්ෆර්ඩ් සවුන්ඩ් කරා එළබීමට හැකි බව දැන ගන්නට ලැබුනා .
ඉතින් ලහි ලහියේ ලැක ලෑස්ති වූ අප කලින් කලින් සැලසුම් කර තිබූ අයුරින් ටිඅනාවු(Te Anau) නගරයට ආසන්න ස්ථානයකින් රථ දෙකේ රෝද සදහා අවශ්‍ය හිම දම්වැල් ලබා ගෙන ගමනට පිටත් උනා.
ටිඅනාවු නගරයේ සිට මිල්ෆර්ඩ් සවුන්ඩ් කරා කිලෝමීටර් 120 පමණ තිබෙනවා. මාර්ගයේ තත්ත්වය අනුව මෙම දුර යෑමට අපට පැය දෙකක් පමණ ගත වූවා.
මාර්ගය දෙපස සුන්දරත්වය දැක දැකත් අප නොනවත්වාම ඉදිරියට ඇදුනේ බෝට්ටු සවාරිය සදහා නියමිත වේලාව ලගා වීම නිසා.
එනමුත් අප මිල්ෆර්ඩ් සවුන්ඩ් වෙත එලබෙන විට පැය බාගයක් ප්‍රමාද වී තිබුනා. නමුත් කාර්ය මන්ඩලය සුහදව අප ඊලඟ කෲස් බෝට්ටුව වෙත යොමු කලා. අපේ දිවා ආහාරය සදහා ආහාර පැකට් අප වෙත ලබා දුන්නා. මෙම ස්ථානයේ සිට නොයෙක් සංවිධායකයන් කෲස් බෝට්ටු සවාරි ආරම්භ කරනවා. විශාල ශාලාවේ වෙනස් ස්ථානවල ඔවුන්ගේ කාර්යාලයන් පිහිටා තිබුනා. සංචාරකයන් මෙහිදී ආහාර සපයා ගත යුතුයි . මෙහි නගරයක් නොමැති අතර කිසිවක් මිලදී ගැනීමට වෙලද සැල් කිසිවක් නොමැත . ආසන්නම නගරය කිලෝමීටර් 120ක් දුරින් පිහිටි ටිඅනාවු නගරය වේ.
මේ හුදෙකලා ස්වභාවය නිසා මට නම් මිල්ෆර්ඩ් සවුන්ඩ්හි ආකර්ශනය තවත් වැඩි පුර දැනුනා.
බෝට්ටුවට ගොඩ උනු අප වහාම ඉහළ විවෘත තට්ටුව කරා පිවිසියේ සුන්දරත්වය සම්පුර්ණයෙන් විද ගැනීමේ ආශාව නිසා. බැලූ බැලූ සැමතම දැකිය හැකි වූයේ මුහුදු දිය හා එක් වන්නට කෝමල ගමනින් ගලා හැලෙන දිය දහරා. ඉන් සමහරක් පහල ජල තලයට වැටෙන්නට පෙර අහසේදීම දසත ව්සිරයන්නේ මීදුම් වලාවන් මවාලමින්. වටේටම ඇති පටු බෑවුම් නිසා බේසමකට බැස්සූවාක් බදු වූ බෝට්ටුව තද නිල් පැහැ ජලයේ හෙමින් ඉදිරියට ඇදුනේ සමහරක් තැන් වලදී ගලා හැලෙන දිය දහරා වලට ඉතා ආසන්නයටම යමින්. සමහරක් මගීන් වතුර බිදිති වලින් බේරීමට යටතට්ටුවට නික්මුණත් අප නම් එය ඉතා සතුටින් වින්දනය කලා .
මෙලෙස පැයක පමණ ගමනකින් පසු අප පාවෙන කුඩා දිවයිනකට පැමිනුනා. මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද වතුරට යටින් ගොස් ජලජ ජීවීන් නැරඹීමට හැකි underwater Observatory එකක්. අප එතැනින් බැස්සූ බෝට්ටුව කලින් එහි පැමිණී සිටි පිරිසක් ගෙන පිටත් උනා.
මෙහි මතුපිට සිට මීටර් 10ක දුරක්, පඩි 64ක් පහළට බසිමින් අප වතුර යට නිරීක්ෂණාගාරය වෙතට පිවිසුනා. සිලින්ඩරාකාර ගොඩනැගිල්ලේ වටේටම විශාල වීදුරු කවුලු තබා තිබුනේ එලියේ පීනන නොයෙක් මාළු සහ වෙනත් ජලජ ජීවීන් උන්ගේ ස්වාභාවික පරිසරයෙහිදීම නිරීක්ෂණව කිරීමේ අවස්ථාව ලබා දෙමින්.මෙම අපූරු අත්දැකීම ලබමින් සිටින අතර තුර ඊලඟ බෝට්ටුව මෙහි ලගා උන බව එහි සිටි නිරීක්ශනාගාර සහායිකාවට ලැබුනු පණිවිඩය නිසා අප නැවතත් ජලය මතුපිට පැමිණුනා.
එතැනින් නික්මුණු අප මෙවර බෝට්ටුව ඇතුලේ අසුන් ගෙන කලින් ලබා දී තිබුණු අහාර පැකට් දිග ඇරගත්තේ දිවා ආහාර වේලාව පැමිණ තිබූ නිසා. කවුලු තුලින් පෙනෙන සුන්දර දිය ඇලි නරඹමින් අප දිවා ආහාරය ගන්නා අතර බෝට්ටුව නැවතත් ගමන ආරම්භය කරා කෙමින් ඇදුණා.
එහි පැමිණි අප ඉන්පසු ටිඅනාවු නගරය කරා ගමනේදී නැරඹිය යුතු සුන්දර ස්තාන ගැන සිතමින් පසු ගමන් ඇරඹූවා.
මග දෙපස සුන්දර දිය දහරා, දිය ඇලි නරඹමින් සහ වනෝද්යානය ඇතුලට යෙදුනු කෙටි පාගමනක් ආදිය අතර තුර එම ප්‍රදේශයට ආවේණික "කී" (Kea) කුරුල්ලන් දැක ගැනීමේ අවස්ථාවත් උදා උනා.
තවත් දිය පහරක් ලග නැවතී අහසින් ඇද හැලුනු සිහින් අයිස් වැස්සත් නොතකා සිසිල් පිරිසිදු දිය පොදක රස බලමින් සිටි අප දුටු එම ප්‍රදේශයේ මාර්ග ආරක්ෂාව පිළිබඳව වගකියන නිලධාරියෙක් සිය වාහනය නවතා හවස 5ට මාර්ගය නැවතත් වසා දමනා බව දැනුම් දුන්නා. ඉතින් සුන්දර මිල්ෆර්ඩ් සවුන්ඩ් සහ ෆියෝර්ඩ්ලෑන්ඩ් වනෝද්යානය වෙතට සමු දුන් අප ටිඅනාවු වෙත නොනැවතී යාමේ අරමුණින් ගමන ආරම්භ කලා.

ටිඅනාවු සිට මිල්ෆර්ඩ් සවුන්ඩ් වෙත මාර්ගය

ටිඅනාවු සිට මිල්ෆර්ඩ් සවුන්ඩ් වෙත මාර්ගය

මිල්ෆර්ඩ් සවුන්ඩ්

මිල්ෆර්ඩ් සවුන්ඩ්

මිල්ෆර්ඩ් සවුන්ඩ්

මිල්ෆර්ඩ් සවුන්ඩ්

මිල්ෆර්ඩ් සවුන්ඩ්

මිල්ෆර්ඩ් සවුන්ඩ්

දිය ඇල්ලක් අසලටම ලන්වූ අපට පෙර කෲස් බෝට්ටුව

Underwater Observatory

Underwater Observatory

මිල්ෆර්ඩ් සවුන්ඩ් සිට ටිඅනාවු වෙත


කී කුරුල්ලෙක්



උමන් පිවිසුම අසල වාහන දෙස බලා සිටිනා කී කුරුල්ලෙක්

මාර්ගයේ අනතුරුදායී ස්ථානයක්


Falls Creek, මා දුටු සුන්දරම දිය ඇල්ලක්

අප දිය පානය කලේ මෙම දොළ පාරින්

අප දිය පානය කලේ මෙම දොළ පාරින්

No comments:

Post a Comment