Saturday, 20 August 2022

උලූරූ මාර්ග චාරිකාව - පස්වන දිනය

 පස්වන දිනයේ උදෑසන අප ගමන පටන් ගත්තේ "නූඩ්ලින්" වලට යෑමෙනි. කාලයක් තිස්සේ කූබර් පෙඩි අවට ඕපල් කැණිම් වලදී ගොඩ ගත් පස් ගොඩවල් නගරයෙන් පිටත් ගොඩ ගසා ඇත. මෙම කැණීම් වලවල් නැවතත්  පුරවා දැමීම නොකරන නිසා මෙම පස් එලෙස කාලයක් තිස්සේ එකතු වෙයි. සන්චාරකයන් අතර ජනප්‍රිය කාර්යයක් වන්නේ, මෙම පස් ගොඩවල් අවුස්සමින් ඕපල් සෙවීමයි.  ඉදහිට සමහරුන්ට මෙහිදී ඕපල් ලැබී තිබෙනවා, ඕපල් සෙවීමටත් වඩා මෙය ඉතා විනෝදකාරී ක්‍රියාවක්.හැබැයි පැයක් පමණ නූඩ්ලින් අවසානයේ අපි හැමෝම වෙට් වයිප් භාවිතා කර දූවිලි පිහගෙන තමා ආයෙත් වාහනයට ගොඩ උනේ.




ඊලගට අපට අවශ්‍ය උනේ කූබර් පෙඩි සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් ඇති බ්‍රේක් අවේ ප්ලේන්ස් නැමති ශේෂ කදු පන්ති බැලීමට යාමටයි. ඊට ස්ටුවර්ට් අධිවේගී මාර්ගය ඔස්සේ ලෙහෙසියෙන්ම ලගා විය හැක.  නමත් අපට අවශ්‍ය වූයේ මූන් ප්ලේන්ස් සහ ඩෝග් ෆෙන්ස් යන ආකර්ෂණත් බලාගෙන බ්‍රේක් අවේ ප්ලේන්ස් වෙතට යාමට නිසා අප මේ සදහා තෝරාගත්තේ වෙනත් ගුරු පාරක්. 


මුලින්ම අප මූන් ප්ලේන්ස් පසු කරා, පෘථිවියේහි කොටසක් කියන්නට නොහැකි තරමට වෙනස්ම ස්වභාවයකින්  යුතු වර්ග කිලෝමීටර 1500ක් පමණ වූ මෙම   ප්‍රදේශය, අනාගතයෙහි දිනක නාසා ආයතනය අගහරු මතට අභ්‍යාවකාශගාමීන් යැවීමක් සිදු වුවහොත් ඔවුන් පුරුදු කිරීම සදහා තෝරා ගන්නට ඉඩ ඇති ප්‍රදේශයකි.




ඉන්පසු  කිලෝමීටර් 5300ක දිග මීටර දෙකක් උස ඩෝග් ෆෙන්ස් එක අපට බලා ගන්න පුලුවන් උනා. මෙය 1880 දී ඉදි කිරීම් පටන් ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන වල් බල්ලන් වන "ඩින්ගෝ" වරුන්ගෙන් බැටළුවන් ඇතුළු ගොවිපොළ සත්වයන් බේරා ගැනීම සදහායි. චීන මහා ප්‍රාකාරය මෙන් තුන් ගුනයක් දිග මෙම වැට ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්සය සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්තවල කොටස් හරහා ඉදි කර තිබෙනවා.



කිලෝමීටර් ගනනාවක් හරහා දිවෙන ගුරු පාර දිගේ අප ගිය ඒ ගමන කිසිවිටෙක අමතක නොවන අපූර්ව අත්දැකීමක්. තවත් වාහන දෙකක් හෝ තුනක් පමණක් අපට මෙම මාර්ගයේදී මුන ගැසුනා, නා නා වර්ණයන්ගෙන් යුතු කදු පසු කරමින් ගිය ගමනේ සුන්දරත්වය මේ සමග ඇති ඡායා රූප බලන ඔබටත් වැටහේවි.










ඉතින් එයින් පසු අප නැවත් ස්ටුවර්ට් අධිවේගී මාර්ගය ඔස්සේ උලූරු දෙසට රිය ධාවනය කරා. 

දිවා ආහාරය මාර්ලා වලදී ලබා ගත් අප හවස් වනවිට උතුරු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු උනා. 


එතැන් සිට පැයට කිලෝමීටර් 130ක වේගයෙන් ගමන් කරමින් ඉර බැස ගෙන යන වේලාව වන විට සුන්දර පැහැයන් තවරා ගෙන අප පිළි ගැනීමට බලා සිටි  සුන්දර හැන්දෑ අහසෙහි හැඩ බලමින් අප යුලාරා වෙතට ලගා උනා.






උලූරූ කන්ද නැරඹීමට පැමිණෙන සැම දෙනා නතර වන්නේ යුලාරා සන්චාරක නිකේතනයේය. එහිදී අති සුඛෝපභෝගී හෝටල වල සිට කෑම්පින් සිදු කල හැකි බිම් කඩ වල් දක්වා  නොයෙක් ආකාරයේ නැවතුම් ලබා ගත හැකියි.




හෙට උදෑසන උලූරූ නැරඹීමට යාම ගැන සිහින මවමින් අපි එදින සතුටු සිතින් නින්දට ගියා.

උලූරූ මාර්ග චාරිකාව - හතරවන දිනය

 කාන්තාරය මැද පොළව යට ඉදිවුනු නගරයක් ගැන ඔබ අසා තිබෙනවාද? වසර පුරා මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 සිට 50 දක්වා වෙනස් වන පරිසරයක පොළව යට ඉදිවුනු මෙම නිවාස හැම වෙලෙහිම සෙල්සියස් අංශක 21 සෞම්‍ය තත්වයක  පවතී. පාසැල් ගොස් පැමිණෙන තම දරුව අතට කැණිම් උපකරණ ලබා දී නිවසට තවත් කාමරයක් එකතු කිරීමට ඔවුන් සමග  කැණීම් සිදු කරන දෙමාපියන් මෙම නගරයෙහි වසර කීපයකට පෙර  වාසය කර ඇත.  එපමණක් නොවේ එවැනි  කැණීම අතර තුර ඕපල් ගල් හමුවීමේ වාසනාවත් ඔවුනට තිබේ. නමුත් පසුකාලීනව අසල්වාසීන් එකිනෙකාගේ ගෙවල් තුලට නොදැනම කැනීම් සිදු කර ඇති අතර මෙම අලකලන්චිය නවතා දැමීම සදහා නගර සීමාවේ ගෙවල් තුල කැනීම් සිදු කිරීම මේ වනවිට තහනම් කර ඇත.

මේ සියලු අපූර්වත්වයන් අත්විදින්නට හැකි ලෝකයේ ඕපල් අගනගරය මෙන් හදුන්වන කූබර් පෙඩි  (Coober Peddy) අද අපගේ කිලෝමීටර 540 ක ඈතින් පිහිටි  ගමනාන්තයයි. 

1852 වන විට දකුණු ෆ්ලින්ඩර්ස් කඳු වැටිය පුරා සහ උතුරු ෆ්ලින්ඩර්ස් කඳුවැටිය තුළට එඬේරන්ගේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා හැකිතාක් ගල්ෆ් ප්‍රදේශයට ආසන්නව වරායක් පිහිටුවීමේ අවශ්‍යතාවය පැන නැගී තිබුනි. ඒ අනුව පිහිටුවන ලද නගරය පෝට් ඔගස්ටා ලෙස  නම් කරන ලද්දේ එවකට දකුණු ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් හෙන්රි ෆොක්ස්ගේ බිරිඳ වන ඔගස්ටා ආර්යාව අනුව ය. පැරණි ගොඩනැගිලි හොදින් සංරක්ෂණය කර ඇති පොර්ට් ඔගස්ටා සුන්දර නගරයකි.

උදෑසන ආහරය නවාතැන් පොළෙහිදීම ලබා ගත් අපගේ එදින පළමු නැවතුම වූයේ පෝට්  ඔගස්ටා නගරයට ආසන්නයේ පිහිටි නැරඹුම් කුළුණකි(water tower lookout) 1882 වසරේදී ඉදිවුනු මෙම කුළුණ, නගරයට අවශ්‍ය ජලසම්පාදනය කිරීම සදහා යොදා ගත් විශාල ජල ටැන්කියකින් යුතු විය. පසුකලෙක එය නැරඹුම් කුළුණක් බවට පරිවර්තනය කර ඇත්තේ එහි මුදුනට නැගුන විට පෝට්  ඔගස්ටා වටා අංශක 360ක සුන්දර දර්ශනයක් ලබා දෙන ස්ථානයක පිහිටි නිසාය. මෙම කුළුණේ මුදුනේ ඇති බැල්කනියේ සිට නගරය, ස්පෙන්සර් ගල්ෆ් සහ  ෆ්ලින්ඩර් කඳුවැටියේ විශිෂ්ට දර්ශන භුක්ති විඳිය හැකිය. දකුණු ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේදී සාගරය රට ඇතුළට වැදුනු බොක්ක  ස්පෙන්සර් ගල්ෆ් යනුවෙන් හදුන්වනු ලැබේ. 




මීලගට අප පෝට්  ඔගස්ටා නගරය හරහා මැතිව් ෆ්ලින්ඩර්ස් නැරඹුම් සථානය(Matthew Flinders lookout) කරා රිය ධාවනය කලා. ඕස්ට්‍රේලියානු ඇරිඩ් ලෑන්ඩ් උද්භිද උද්‍යානයේ(Arid Lands Botanic Gardens) කොටසක් වන මෙම ස්ථානය, පෝට් ඔගස්ටා සහ ඒ අවට ප්‍රදේශය මෙන්ම ෆ්ලින්ඩර්ස් කදු වැටියද ස්පෙන්සර් ගල්ෆ් සහ නගරයට පැමිණෙන දුම් රිය නිරීක්ෂණය කිරීමටද හැකි අතිශය සුන්දර ස්වභාවික ආකර්ෂණයකි. 






එතැනනි නික්මුනු පසු අප දිගටම රිය පදවූයේ නේක වර්ණයන්ගෙන් දිස්වන ශේෂ කදු බොහොමයක් පසු කරමින්.





කූබර් පෙඩි සහ පෝට් ඔගස්ටා අතර ස්ටුවර්ට් අධිවේගී මාර්ගයට ඔබ්බෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති හාර්ට් විල අපගේ ගමනේ ඊළඟ නැවතුමයි.  මෙම විලෙහි අලංකාර ලුණු ස්පඨික දිලිසෙන අයුරු දැකීමට ලස්සන දසුනක්.  



මේ වනවිට අප පෝට් ඔගස්ටා සිට කිලෝමීටර 180ක පමණ දුරක් පැමිණ තිබුනා, එය දිනයේ මුළු දුරින් තුනෙන් එකක් පමණ.

බොහොමයක් දුරට කිසිම ජනාවාසයක් නොමැති, දුරකථන සංඥා නැති පාලු ප්‍රදේශ කිලෝමීට සිය ගානක් පුරාවට විහිදී තිබුනා. ඉදහිට පසුවන අනෙකුත් සංචාරකයන් මිස පාරේ කිසිවෙකුත් දකින්නට හිටියේ නැහැ, මෙවැනි ගමන් එන විට කල් ඇතුවම වාහන සදහා ඉන්ධන ලබාගෙන ඒම අනිවාර්යයයි.

අප සිංහල සිංදු විශාල ප්‍රමාණයක් භාගත කරගෙන පැමිණි සිටි හෙයින් මග දිගට ලයාන්විත සංගීතයත් නිමක් නොපෙනෙනා පාරිසරික සුන්දරත්වත් විදිමින් දහවල් එක  පමණ වන විට කූබර් පෙඩි සීමාවට පැමිණියා.

නගරයට පිළිගන්නා පුවරුව ඕපල කැණීම් සදහා යොදා ගන්නා වාහනයක් ආකාරයෙන් නිමවා තිබුනා. ඕපල් යනු මැණික් වැනි ඛණිජ පාෂාණයකි. ලන්කාවේ රත්නපුර ප්‍රදේශය මැණික් සදහා ප්‍රසිද්ධව පවතිනවා මෙන් කූබර් පෙඩි ඕපල් සදහා ලෝක ප්‍රසිද්ධ වේ.




අප එදින දිවා ආහාරය ලබා ගත්තේ කූබර් පෙඩි වලදී. කුඩා නගරයේ ඕපල් ආභරණ සැල් කීපයක්ම පිහිටා ඇති අතර, දිවා ආහාරයෙන් පසු අප ඒවා යේ ඇවිද ගිය අතර ඕපල් ගැන නොයෙක් තොරතුරු කීමට කඩ හිමියන් බොහොම කැමැත්තෙන් ඉදිරිපත් උනා. 

ඉන්පසු කලින් වෙන්කරවා ගත් උමූනා ඕපල් කෞතුකාගාර සන්චාරයෙහි යෙදීමට අවස්ථාව ලැබුනා. එහිදී කූබර් පෙඩි සහ ඕපල් වල අතීත කරුණු ඇතුළත් කර නිපදවූ කෙටි චිත්‍රපටියක් මුලින්ම නරඹන්නට ලැබුනා. 1915 වසරේදී මෙම ප්‍රදේශයේ රත්තරන් නිධි සොයමින් ආ ඉන්ග්‍රීසි ජාතික කණ්ඩායමක් තමන් ගෙන ආ වතුර ඉවර වීම නිසා බොහෝ අපහසුතාවයන්ට මුහුණ දුන්න. වතුර යනු කූබර් පෙඩි ප්‍රදේශයෙ විශාල ගැටළුවක් වන්නේ එය කාන්තාර ප්‍රදේශයක් වීම නිසා.  ඉතින් මෙම කණ්ඩායම පහළොස් වියැති විලියම් හචින්සන්ට කඳවුර බලාගැනීම පවරා වතුර සොයා යනවා. ඔවුන් නැවත් පැමිණෙන විට ගිනි මැලය නිවී ගොස් තිබූ අතර කිසිවකුත් කදවුරෙහි නොහිටි නිසා විලියම් හචින්සන් කෙරෙහි කෝප වී සිටිද්දී පහළොස් වි‍යති මානවකයා ආපසු කදවුරට පැමිණ ඇත්තේ වතුරත් ඕපලුත් දෙකම සොයා ගෙනයි. මීට ප්‍රථමයෙන් මෙම ප්‍රදේශවල ජීවත් වූ ආදිවාසීහු ඕපල් දැක තිබුනත්, භෞතික වස්තූන් කෙරෙහි තැකීමක් නැති  ඔවුන්ට ඒවායේ අගයක් තිබී නැහැ. 

එයින් පසු පැරණි පතල්, දෝනා තුල ගමන් කරමින් ඒ කාලයේ පතල් කරුවන් පොළව යට ජීවත් වූ පැරණි පතල් නැරඹීමටත් සැබෑ ඕපල් නිධියක් බලාගැනීමටත් අපට අවස්ථාව උදාඋනා. පොළව යට සිදු කල ඒ සන්චාරය ඉතා සුවිශේෂයි.

ඉන්පසු කෞතුකාගාරයෙහි ඇති වසර මිලියන ගනනක් පැරණි සත්ව අවශේෂ ඇතුළත් ෆොසිල කාමරය, කැණීම් සදහා යොදාගත් පැරණි උපකරණ සහ ආභරණ අලෙවි සැලෙහි ප්‍රදර්ශනය කර තිබූ  ඕපල් ආභරණ ආදියත් අප දැක බලා ගත්තා.









රෑ අඳුර වැටී ගෙන එද්දී අප එදින රැය ගත කිරීමට වෙන් කරවා ගෙන තිබුනු පොළව යට අපාර්ට්මන්ට් එක කරා ගියා. එය නම් සුවිශේෂී අත්දැකීමක්ම උනා. වසර මිලියන 150 කට පෙර මුහුදට යටව තිබුන මෙම කූබර් පෙඩි ප්‍රදේශයේ වතුර බැස යාමත් සමගම ගල් අතර හිරවූ සිලිකා වැලි කාලයත් සමගම ඕපල් බවට පත්ව තිබෙනවා. මෙම විශ්මිත කරුණු සිහි කරමින් ඒ අසාමාන්‍ය හෝටලයේ අපි රාත්‍රිය ගත කරා. 

මෙම නගරයේ ජනගහනයෙන් 60%ක් තාම ජීවත් වෙන්නේ පොළව යට ගෙවල්වල වන අතර වැඩි ප්‍රමාණයක් හෝටල් තියෙන්නේත් පොළව යට. 






Friday, 19 August 2022

උලූරූ මාර්ග චාරිකාව - තෙවන දිනය

 අද අපේ ගමනේ තුන්වන දිනයයි. කිලෝ මීටර් 624ක් මග ගෙවා ගෙන  බ්‍රෝකන් හිල්ස් සිට ෆ්ලින්ඩර්ස් කදු වැටිය හරහා පෝර්ට් ඔගස්ටා වෙත යන දවස. 

ජාතික උරුම ලැයිස්තුවට ඇතුළත් කළ පළමු ඕස්ට්‍රේලියානු නගරයවන බ්‍රෝකන් හිල්ස්,  රිදී, ඊයම් සහ සින්ක් කැණීම් සදහා ප්‍රසිද්ධ වූ නගරයකි.

උදෑසන ආහාරය කලින්ම ලබා ගත් අප බ්‍රෝකන් හිල්ස් සිට කිලෝමීටර් 12 ක් දුරින් පිහිටා ඇති සජීවී කාන්තාර මූර්ති උද්‍යානය(Living Desert State Park) වෙත ගියා. 1993 වසරේදී විල්කානියා සිට ගෙන එන ලද අති විශාල සෑන්ඩ්ස්ටෝන් යොදාගනිමින් ලොව පුරා විවිධ නගර වලින් එක් රැස් වුන දක්ෂ මූර්ති ශිල්පීන් දොළොස් දෙනෙකු  විසින් මෙම මූර්ති නිර්මාණයන් සිදු කොට තිබෙනවා. උදෑසන හිරු කිරණ මහ පොළව සිප ගනිමින් එම මූර්ති රන්වන් පැහයෙන් ආලෝක කරන අයුරු ඉතාමත් මනරම් දර්ශනයක් වුනා. 







හෙක්ටයාර 2400ක භූමි ප්‍රදේශයක පැතිර පවත්නා ශාක සහ සත්ව අභය භූමියක් මෙම මූර්ති උද්‍යානය වටා පැතිර පවතින අතර එයද ඉතාමත් මන්ස්කාන්ත දසුන් මවා පෑවා.




අකමැත්තෙන් උනත් අප එම සුන්දර ස්ථානයෙන් පිටවී දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දිශාවට රිය ධාවනය කරා. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළත් වීමේදී අප සතුව පැවති පළතුරු සියල්ල ඉවතලීමට නිරෝධායාන මධ්‍යස්ථානයේදී උපදෙස් ලැබුනා. දකුණු ඕස්ට්‍රේලියාව විශාල වශයෙන් එළවළු සහ පළතුරු නිශ්පාදනය කරන නිසා මෙම සීමා කිරීම් සිදු කරනු ලබනවා.



අතරින් පතර කාලයකට කලින් අතහැර දමන ලද නිවාස ආදිය ගරා වැටී තිබෙනු දැකිය හැකි මුත්, මිනිස් ජනාවාස නම් තිබුනේම නැති තරම්






ෆ්ලින්ඩර්ස් කඳු වැටියේ දකුණු කෙළවරේ,  ඇඩිලේඩ් සිට කිලෝමීටර් 246 ක් උතුරින් පිහිටා ඇති ඓතිහාසික දුම්රිය නගරයක් වන පීටර්බරෝ අපේ දිවා නැවතුම් පල උනා. එහි ප්‍රධාන සංචාරක ආකර්ෂණය වන්නේ "ස්ටීම්ටවුන්" හෙරිටේජ් දුම්රිය මධ්‍යස්ථානයයි.



රසවත් දිවා ආහාරයකින් පසු අප ෆ්ලින්ඩර්ස් කදු වැටිය කරා නික්මුනා. ඉර බැස යන වෙලේ රත් පැහැයට හුරු අමුතුම වර්ණාවලියකින් හැඩ උන ෆ්ලින්ඩර්ස් කදු වැටිය අපේ ගමනට තවත් නොමැකෙන මතක සටහනක් එක් කලා.  එම කදු පන්තිය පුරා ඒ මේ අත පැන යන කැන්ගරුවන්ගෙන් අඩුවක් තිබුනේ නැහැ.

බ්‍රිතාන්‍ය නාවිකයෙකු සහ සිතියම් ශිල්පියෙකු වූ, ඕස්ට්‍රේලියානු භූමිය ගවේෂණය කිරීමෙහි ලා මූලික වුනු, කපිතාන් මැතිව් ෆ්ලින්ඩර්ස් වෙනුවෙන් නම් කර ඇති මෙම කදු වැටිය දකුණු ඕස්ට්‍රේලියාවෙහි ඇති විශාලතම කදු පන්තියයි. රෙඩ් හිල් ලුකවුට් නම් ස්ථානයේ සිට ෆ්ලින්ඩර්ස් කදු වැටිය පසුබිමින් හිරු බැස යන අපූර්ව දර්ශනය නරඹමින්  අප ගත කල ඒ සැදෑ හෝරාව අතිශය ආනන්දජනක අත්දැකීමක් උනා.








එතැන් සිට කිලෝමීටර් 150ක දුරක් ගෙවමින් අප පෝර්ට් ඔගස්ටා නගරය වෙත පැමිණියේ රෑ කළුවර අතරිනුයි.