Tuesday 3 December 2019

නවසීලන්ත චාරික සටහන් 8 - ටයරි ගෝර්ජ් දුම්රිය චාරිකාව ( The Taieri Gorge Railway) සහ නැවතත් ක්‍රයිස්ට්චර්ච් නුවර කරා පැමිණීම.

ඩනෙඩින් නගරයේ සිට පුකෙරින් කරා උදාසන 9.30ට පිටත්වන සංචාරක දුම්රියේ ගමන් කිරීම අද අපගේ සැලසුමයි. මෙහි ගමන් කිරීමට අවශ්‍ය ආසන කල් වේලා ඇතුව වෙන්කරගත යුතුයි.
ඩනෙඩින් සිට පුකෙරින් වෙත ගොස් නැවතත් ඩනෙඩින් කරා පැමිණෙනන පැය 5කට ආසන්න මෙම දුම්රිය ගමන අතර තුර මිනිස් වාසයක් නොමැති පාළු කදුකර පෙදෙස් පසු කරමින් කහ මල් යායවල් මැදින් උමං 10ක් හරහා යමින් ඔබට නවසීලන්තයේ පිටිසරබද අසිරිය විදගත හැකියි.
රේල්පාරට සමාන්තරව ගලාබසිනා ටයරි ගංගාවද ගමනේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.
මනස්කාන්ත ස්ථාන පසු කරන විට දුම්රිය මදකට නතර කරන්නේ සංචාරකයන්ට වඩාත් හොදින් ඒවා නැරඹීමට සහ ඡායාරූප ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින්. පසු කරමින් යන ස්ථාන පිළිබඳව සජීවී විස්තර විචාරකයක් දුම්රියේ මහජන ඇමතුම් පද්ධතිය ඔස්සේ අසන්නට අවස්ථාව සලසා තිබීම නිසා ඒ ගැන දැනීමකින් යුතුව පරිසරය නැරඹීම හැකි වීම අගය කල යුතුයි.
ඔබට ඇවසි නම් දුම්රිය පෙට්ටි ඉදිරිපස සහ පිටුපසින් පිහිටා ඇති විවෘත වේදිකාවේ ඇති තරම් වේලාවක් ගමන් කල හැකියි. එවිට ටයරි ගෝර්ජ් නිම්නය හරහා ඇදී යන සීතල සුලග හා මිතුරු වෙමින් අවට සුන්දරත්වය හොඳින් විද ගන්නට අවසර ලැබෙනවා.
පැයකට වඩා වැඩි කාලයක් මෙහි ගමන් කල මගේ ඇගිලි සීතලට ගල් ගැසී ගියත් සීතලට නොපැරදෙන්නට අදිටනින් සිටි මා එතැනින් නික්මුණේ දුම්රිය පුකෙරින් වල නැවතූ විටයි.
ඉන්පසු දුම්රිය එන්ජිම දිසාව මාරු කරගන්නා තුරු එතැනින් බැස එහි තිබුණු කුඩා කෞතුකාගාරය නැරඹීමට මද වේලාවක් ලැබුනා.
නැවත ගමන ආරම්භ කරන විට දිවා ආහාරයට වේලාව එළඹ තිබුණු නිසා අප දුම්රිය තුල පිහිටා තිබූ ආපනශාලාව වෙත ගොස් දිවා ආහාරය මිලදී ගත් අතර එහි සිටි සේවිකාවන් දෙදෙනා ඉතා මිත්‍රශීලීව අපට අවශ්‍ය ආහාරපාන ලබා දුන්නා .
ටයරි ගෝර්ජ් නිම්නය පසු කරමින් ආපසු ගමනනේ යෙදුනු දුම්රිය අපව නැවතත් ඩනෙඩින් නගරයට ගෙන ආවේ සවස 2.30 ආසන්නයේ.
ඉතින් ඩනෙඩින් නගරයට සමුදුන් අප නවසීලන්තයේ දකුණු දිවයින වටා අපගේ ගමන සම්පූර්ණ කරමින් ඕමාරු, ටිමාරු සහ ඈශ්බටන් ආදී නගරයන් පසු කරමින් ක්‍රයිස්ට්චර්ච් නුවර කරා කිලෝමීටර් 360ක් ගමනේ යෙදුනා.





















1 comment:

  1. ඔක්කොම කථා ටික කියෙව්ව. මම 1999 මෙච්චර තැන් වලට ගියේ නැහැ. ඔබ දැන් පදිංචිය නවසීලන්තයේද? මම නම් 1997-1999 කාලයේ පදිංචි වී සිට සංක්‍රමණික වීසාව indefinete කරගත් පසු නැවත ආවා. හේතුව මගේ දරුවන් ඒකාලයේ ඉතා කුඩා අය වීම. මම ඒකාලයේ සිටි වයිටෝමෝ ගුහා (Waitomo Caves) පැත්තේ ඇති ටිකුඉටි (TeKuiti) එහෙම යන්න ආසයි. විශ්‍රාම ගිය දවසක යා යුතුයි. එක දෙයක් කිව යුතුයි සාමාන්‍ය සංචාරකයෙකුට වඩා ඔබගේ පින්තූර ඉතාම ඉහල මට්ටමක පවතිනවා.

    ReplyDelete