Monday, 7 October 2019

නවසීලන්ත චාරික සටහන් -1 කබලෙන් ලිපට වැටීම සහ නැවත ගොඩ ඒම නොහොත් අපේ නවසීලන්තය සන්චාරයේ ආරම්භය


මෙම වසරේ ජනවාරි මාසයේ දිනයක අපේ අතිජාති මිතුරු පවුලක් කදිම යෝජනාවක් ගෙන ආවා . මේ අවුරුද්දේ අපි නවසීලන්තයට සන්චාරයකට යමු යනුවෙන්. නිතරම සන්චාරක පිපාසයෙන් පෙළෙන මමත් මගේ සැමියාටත් එය දෙසැරයක් ඇසිය යුතු ප්‍රශ්නයක් උනේ නැහැ. අනික් අතට මේ යහලු පවුල සමග වසරකට කීප සැරයක් විනෝද චාරිකා යන නිසා අපිදන්නවා ඔවුන් සමඟ සන්චාර කිරීම විනෝදජනක බව.
ඉතින් පෙබරවාරි මාසයේ අගදිනක ඔවුන්ගේ නිවසට එකතු වුනු අපි ගමනට අවශ්‍ය ගුවන් ගමන් පත් අන්තර්ජාලය ඔස්සේ මිලදි ගත්තා. ඉන් පසු දළ වශයෙන් ගමනේ සැලසුමකුත් සාදාගත්තා.
එදා සිට සැරින් සැරේ අපි නොයෙකුත් සන්චාරයක ආකෂණ වලට ප්‍රවේශ පත් මිලදි ගැනීම ,සීතලට අවශ්‍ය ඇදුම් ලක ලැහැස්ති කර ගැනීම, දවස් දහයක ගමනේ ආහාර පිළිබඳ කතා කර ගැනීම ආදිය කරන අතර අපටත් නොදැනීම සන්චාරයට යොදා ගත් දවස එළබුනා. මෙවර බ්‍රිස්බේන් නුවර විහාරස්ථානක කඨින පින්කම කිරීමට තවත් යහලුවන් පිරිසක් සමග බාරගෙන සිටින නිසා ඒ වැඩ කටයුතු නිසාත්, අවසාන දිනවල කාර්යාල කටයුතුවල යෙදුණු බලවත් කාර්ය බහුල කම නිසාත්, පාසල් වාරය අවසාන වීමේ හා හෝව නිසාත්, සැමියාගේ අසනීප තත්ත්වයක් නිසාත් මට නම් ගමනට සූදානම් වෙන්න සිදුවුනේ සිහිනෙන් වගේ.
කොහොම හරි අවසානයේ අපි බුදුන් වැද ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් නිවසින් පිටත් වුනේ ගෝල්ඩ්කෝස්ට් ගුවන් තොටුපොළ වෙත යෑමට. පාසල් නිවාඩු කාලේ නිසා පාරේ වාහන තද බදයක් තිබේ යැයි බිය උනත් වෙලාවට අපි ගුවන් තොටුපොළට පැමිනුනා. වාහනය කලින් වෙන්කරගත් ස්තානයේ නවතා දමා අපි පවුල් දෙකම ගුවන් තොටුපොළේ අදාළ ස්තානයට ගියේ පිටත් වීමේ අවසරපත් ලබා ගැනීමටයි.
මගේ ජීවිතයේ මුහුණ දුන් අතිශය භයානක අත්දැකීමකට මුහුණ දෙන්න උනේ අන්න එවිටයි . මගේ අවුරුදු හයේ දුවගේ ගමන්බලපත්‍රයේ ප්‍රශ්නයක් නිසා ඇයට රටින් පිටවීමට අවසර දීම ප්‍රතික්ෂේප උනා. වයස හය උනත් මෙම සිද්ධියට ඇය ඉතා හොදින් මුහුණ දුන්නා. මට නම් කම්පනය නිසා හුස්ම හිර උනා. මදක් සිහි එලවාගත් පසු මමත් සැමියාත් තීරණය කලා මගේ පුතා සමඟ මම නවසීලන්තයට පිටත් වෙන්නත් ඔහු දුව සමග නැවතත් නිවසට යන්නත් . ඒ පහුවදා බ්‍රිස්බේන් නුවර ගමන් බලපත්‍ කාර්යාලයෙන් දුවගේ ගමන් බලපත්‍රයේ ගැටලුව විසදාගෙන ඔවුන් එදින නවසීලන්තයට පැමිනේවි යන බලාපොරොත්තුව ඇතුව .
දුව මා තදින් බදාගෙන සිටියදී හිත්පිත් නැති අයුරින් ඇය පසෙකට කර ගුවන් තොටුපොළ ඇතුලට යන්නට සිදු උනු සැටි සිහිවන විට මට දැනුත් ඇහට කදුළු එනවා.
මහ රෑ දොළහත් පසු වී නවසීලන්තයට ගොඩ බැස ගත් අතර එදා රෑ නිදි නොලැබීම ගත වුනේ හිතේ තිබුණු වේදනාව නිසා.
පහුවදා මගේ සැමියා දුවත් රැගෙන ගුවන් ගමන් බලපත්‍ කාර්යාලයට ගිය විට ඊලඟ ප්‍රශ්නය මතු වුනා. දරුවාගේ මව නැතුව ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් කිසිවක් කල නොහැකි බව එතැනින් ඔහුට පවසා තිබුනා. මා සිටි නවසීලන්තයේ දකුණු දිවයිනේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයක් නොමැති නිසා මා උතුරු දිවයිනට යෑම එකම විසදුම වෙන තත්වයක් උදා වීගෙන ආවා . නමුත් ඒ අවස්තාවේ එය කල නොහැකි දෙයක්.ක්‍රයිස්ට්චර්ච් නුවර පිහිටි ඔස්ට්‍රේලියානු සන්චාරයක ජීවදත්ත පරීක්ෂා කිරීමේ කාර්යාලයක් බොහෝ අපහසුවෙන් සොයා ගත් අප එහි ගියද අපට අවශ්‍ය රාජකාරිය කිරීමට ඔවුන්ට බලතල නොමැති බව අපට දැනුත් දුන්නේ මා කබලෙන් ලිපටම තල්ලු කරදමමින්. දියණිය මාස ගනනාවක් තිස්සේ ඉතා උද්‍යෝගයෙන් බලා සිටි ගමන ඇය නැතුව පැමිණීමට සිදුවීම ගැන මේ වනවිට මා සිටියේ අතිශය හිත් වේදනාවකින්.
දෙවියන්ගේ පිහිටෙන් අවසානයේ මා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් නවසීලන්තයේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ (උතුරු දිවයිනේ පිහිටි ) නිලධාරිනියක් මා නවසීලන්තයේ සිටිනා බව තහවුරු කිරීමට එකග උනා. දැඩි ප්‍රශ්න කිරීමක් අවසානයේ ඇය බ්‍රිස්බේන් නුවරට දැනුම් දුන්නේ මා එරට සිටින බවත් , ඇය මා හා දුරකථනය ඔස්සේ සම්බන්ධ වුනු නමුත් ඇය මා සියැසින් දුටුවේ නැති බවත් බ්‍රිස්බේන් කාර්යාල කැමති නම් පමණක් දරුවාගේ කටයුත්ත කරනා ලෙසත්ය. මෙය වැරදුනා නම් අප පත්වන තත්ත්වය මට නම් තවමත් සිතන්නටත් දුකයි. අප සැමගේ වාසනාවට එම තුරුම්පුව සාර්ථක වුනා. බ්‍රිස්බේන් කාර්යාලය නිසි ලියකියවිලි සකසා තමාට ලබා දුන් බවට මගේ සැමියා එවූ කෙටි පනිවිඩය දුටු සැනින් මාත්, පුතාත්, අපේ යහලු පවුලේ සැමත් ප්‍රීතියෙන් පිනා ගියා . එදාම රෑ 7ට බ්‍රිස්බේන් ගුවන් තොටුපොලින් පිටත් වුනු ඔවුන් දෙදෙනා නවසීලන්තය වේලාවෙන් 12 ආසන්නයේ එරටට පැමිනුනේ මගෙ හිතේ ගින්දර නිවා දමමින්.
ඒ රැයේම අප ක්‍රයිස්ට්චර්ච් නුවරින් පිටත්ව ග්‍රේමවුත් නගරය කරා පැමිනුනා. මුලු රැයේම ඝන අන්ධකාරයේ, හිමවැටෙන පාලු කදු වලළු පසු කරමින් නොදන්නා රටක රිය පදවමින් අපි ග්‍රේමවුත් කරා එළැඹෙන විට පහුවදා උදාසන හයටත් කිට්ටු වී තිබුනා .
ඕනෑම කරදරයක් දරාගැනීමට හොද මිතුරන්ගේ සහයෝගය කොතෙක් වටිනවාද යන්න පසක් කරමින් මගේ මිතුරන් එදා දවස පුරා කලින් සැලසුම් කල ගමන් සියල්ල අමතක කර මගේ විරෝධය නොතකා සාර්ථක පිලිතුරක් ලැබෙන තුරුම මාහා රැදුනා. මෙවන් වේදනාබර අත්දැකීමක් මැද වුව ඔවුන් දෙදෙනාගේ ඒ සුන්දර මිතුදම මට කලු වලාවක ඇදි රිදීරේඛාවක් සිහි ගැන්නූවා.
මෙතනින් පසු අප වැඩි කරදරයක් නොමැතිව ගමනේ ඉතිරිය ගත කලා.

Before

After

No comments:

Post a Comment