උලූරූ මාර්ග චාරිකාවේ දසවන දිනය අදයි. අද අපගේ සැලසුම ටෙනන්ට් ක්‍රීක් නගරයේ සිට ක්ලොන්කරි නගරයට ගමන් කරන්නටයි. ටෙනන්ට් ක්‍රීක් නගරයේදී උදෑසන ආහාරය ලබා ගෙන පිටත් උන අප කිලෝමීටර් හයකට වඩා මදක් දුරින් තිබූ මේරි ඈන් විල අසල පළමුවෙන් නතර කලා, නිල් දිය කදේ සුන්දරත්වයත් ඒ අසල ගැවසුන මින් පෙර දැක නොතිබූ කුරුළු රන්චුවේ ආඩම්බර ලස්සනත් විද ගත් අප එහි වැඩි වේලාවක් නොසිට නැවතත් ගමනට පිටත් උනා.
අද දිනයේ කිලෝමීටර් 800කට ආසන්න දුරක් යන්නට තිබීමත් අපට බලන්නට අවශ්‍යම යුරේනියම් නිධිය තිබුනේ ගමනාන්තයට බොහෝ ආසන්නයේ නිසාත් කලුවර වැටෙන්නට පෙර මෙම දුර යා යුතු උනා.එනිසා අතරමැද වැඩිපුර නතර කරමින් යන්නට අද අවසරයක් නැහැ.
අප දින කීපයක්ම ගමන් කල ස්ටුවර්ට් අධිවේගී මාර්ගයට සමුදුන්නේ ත්‍රීවේස් තුන්මන් හන්දියේදී. එතෙක් ඕස්ට්‍රේලියාවේ උතුරු දිශාවට ගමන් කළ අප එතැන් සිට ගිණිකොණ දෙස බලා ගමන් කලයුතු උනා. ත්‍රීවේස් සිට කෙළින්ම ස්ටුවර්ට් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කලහොත් උතුරු ප්‍රාන්තයේ අග නුවර වෙන ඩාර්වින් වෙතට යා හැකියි.
ත්‍රීවේස් මංසන්ධියේ සිට බාර්කි අධිවේගී මාර්ගය ඔස්සේ ක්ලොන්කරි වෙත රිය පදවන විට කිලෝමීටර් සිය ගනනක් පුරා මිනිස් ජනාවාස දැකිය නොහැකි මුත් පාර දෙපස දිගින් දිගටම දැකිය හැක්කේ දහස් ගනනින් වූ හුඹස්. ඒවායෙන් සමහරක් නොයෙක් ආකාර ඇදුම් අන්දා සරසා තිබෙනු දැකීම සිනහා යන සුළු කරුණක් උනා.
දහවල් දෙක පසු වී මද වේලාවකින් අප කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ සීමාව පැන නැවතත් කුවීන්ස්ලන්තයට ඇතුළත් උනේ දින ගනනාවකට පසු. අප ජීවත් වන ප්‍රාන්තයට ඇතුළත් වීමට ලැබුන විට ගමනේ වැඩි හරිය අවසන් බව ඒත්තු ගැන්වී දුකකුත් සතුටකුත් ඇති උනා.
අපි සැලසුම් කරගෙන තිබූ අයුරින්ම සවස 5 පමණ වන විට මේරි කැතලින් යුරේනියම් නිධිය කරා ලගා වෙන්නට හැකි උනත් තවත් ටිකක් කලින් එන්නට තිබුනා නම් හොදයැයි සිතුනේ අදුර වැටී ගෙන එන සලකුණු දකිද්දී.
1954 වසරේදී, මෙම ස්ථානයේ සැලකිය යුතු යුරේනියම් නිධියක් සොයා ගෙන ඇත. පතල් කැණීම 1956 අවසානයේ ආරම්භ වූ අතර විවෘත කැපුම් ක්‍රමයට කැණීම් කර එතනදීම යුරේනියම් නිස්සාරණය සිදු කොට ඇත. 1963 වන විට ප්‍රධාන සැපයුම් කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර තෘප්තිමත් වූ නිසා පතල වසා දමා ඇත. දෙවන වරට පතල 1972 සිට 1982 දක්වා ක්‍රියාත්මක වී ඇති අතර එවර පතල වසා දමා ඇත්තේ යුරේනියම් අවසන් වූ නිසායි. වසර මිලියන ගනනක් තිස්සේ සොභාදහම නිමැවූ වටිනා මූලද්‍රව්‍යයක් මිනිසා විසින් කෙටි කලකින් ඉවර කර දමා ඇති අයුරු අසන විට මිනිස් සංහතිය ගැන පුදුම හිතුනි. මෙම පැරණි නිධිය පාමුල කුඩා විලක් බදුව නිල් පැහැ ජලය එකතුවී තිබෙන අයුරු ඉතාම ලස්සනයි. නමුත් විකිරණශීලීතාවය නිසා එම වතුර ඇල්ලීමවත් නොකල යුතුයි. විකිරණශීලී අපද්‍රව්‍ය ප්‍රාදේශීය ජලාපවහන පද්ධතිවලට කාන්දු වී ඇති අතර එමඟින් දේශීය වෘක්ෂලතාදියටද පුලුල්ව පැතිරී ඇති නමුත් ඒ සදහා අදටත් පිළිගත හැකි විසදුමක් නම් ක්‍රියාත්මක වී නැහැ.
මෙම නිධියෙහි සේවයට පැමිණියවුන් සදහා මේරි කැතලින් නගරය ගොඩ නැංවී තිබී ඇත. පතලේ සිට කිලෝමීටර 6 ක් දුරින් පිහිටි නගරය, තැපැල් කාර්යාලයක්, සිනමා ශාලාවක්, ක්‍රීඩා පිටියක්, පාසලක්, පුස්ථකාලයක්, බැංකු සහ ප්‍රජා ගබඩාවක් සහිත වූ සම්පූර්ණ නගරයක්ව තිබී ඇති අතර එක් කලෙක එහි ජනගහනය 1200 පමණ වී තිබුනු බව වාර්තාවී තිබෙනවා. එමෙන්ම ඔලිම්පික් තත්වයේ විශාල පිහිනුම් තටාකය, ටෙනිස් ක්‍රීඩා පිටි ආදී නොයෙක් අංග වලින් යුතුව මෙම නගරය මේ අයුරින් අංග සම්පූර්ණව ගොඩ නංවන්නට යුරේනියම් තුළින් ලැබුනු විශාල ආදායම හේතු වන්නට ඇති.
කෙසේ නමුත් 1982දී පතල් කැණීම් නතර වුන පසු මෙම නගර වැසියෝ වෙනත් ජීවනෝපායන් සොයා පිටත්වීම හේතුවෙන් ඉතා ඉක්මනින්ම නගරය පාළුවට ගොස් ඇති අතර අද වනවිට එහි පෙර තිබූ විභූතිය කිසිසේත්ම දැකීමට නෑ. ඒ වෙනුවට ගොඩනැගිලි තිබූ ස්ථාන වල පාදම පමණක් ඉතිරිවී තිබෙන අයුරුත් පිහිනුම් තටාකය සම්පූර්ණයෙන්ම ගොඩ වී ඇති අයුරුත් පේන්නට තිබෙනවා. අදටත් එම පාදම්වල උඩ කූඩාරම් බැද ගත් සංචාරකයන් අතහැර දැමූ නගරයේ රාත්‍රිය ගත කරනවා.
මේ සියල්ල බලා ගත් අපි තවත් කිලෝමීටර 70ක් ඈතින් පිහිටි ක්ලොන්කරි නගරය කරා පිටත් උනේ රාත්‍රී නවාතැන් පොළ සොයාගෙනයි.